ජකර්තා මලල ක්‍රීඩා තරගාවලියේදී පුෂ්පකුමාර හා නිලානිගෙන් ලංකාවට තවත් රන් පදක්කම් 2ක්

  👤  3276 readers have read this article !
By mawbima 2018-02-15

විචිත්‍ර වීරසිංහ

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී මේ දිනවල පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියේදී සිවුවැනි දිනය වන ඊයේ දිනයේදී මීටර් 3000 පිරිමි හා කාන්තා බාධක දිවීමේ ඉසව්වලට සහභාගි වූ ආර්.එම්.එස්. පුෂ්පකුමාර හා නිලානි රත්නායක රන් පදක්කම් දිනාගනිද්දී නිමාලි ලියනාරච්චි හා මීටර් 4×100 පිරිමි ඉසව්වෙන් ශ්‍රී ලංකාව තවත් රිදී පදක්කම් දෙකක් දිනාගැනීම විශේෂත්වයකි.

එහිදී ක්‍රීඩිකාවන් දෙදෙනකු පමණක් සහභාගි වූ මීටර් 3000 කාන්තා බාධක ඉසව්වේදී නිලානි රත්නායක වි:9:55.59ක කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනාගත් අතර, ඇය විසින් වාර්තා කළ එම කාලය නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම මෙම ඉසව්ව වි:10කට වඩා අඩුවෙන් සටහන් කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ලෙසද ඉතිහාසගත වෙයි.

තවද පිරිමි බාධක ඉසව්වට සහභාගි වූ ආර්.එම්.එස්. පුෂ්පකුමාර වි:8:59.70ක කාලයක් සටහන් කරමින් ඊයේ දිනයේ ලැබූ පළමු රන් පදක්කමේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිකර දීමද කැපී පෙනුණි.
ඒ අනුව මේ වනවිට තරගාවලියේ ඊයේ (14දා) වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් පහක්, රිදී පදක්කම් හතරක් හා ලෝකඩ පදක්කම් 5ක් දිනා සිටියේය.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට ලැබුණු පළමු පදක්කමේ අයිතිය නිමාලි ලියනාරච්චි විසින් හිමිකර ගත්තාය. එහිදී ඇය මීටර් 800 ඉසව්ව වි:2:07.95කදී අවසන් කරමින් රිදී පදක්කම දිනාගනිද්දී මේ වනවිට එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාලාභිනිය (වි:2:02.55) බවට පත්ව සිටින ගයන්තිකා අබේරත්නට ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවූවාය. ලෝකඩ පදක්කම දිනූ ගයන්තිකා වි:2:08.27ක කාලයක් වාර්තා කරගනිද්දී වි:2:06.37ක කාලයක් වාර්තා කළ ජපානයේ කිතමුරා යුමේ රන් පදක්කම දිනාගනු ලැබීය.

මේ අතර මීටර් 4×100 පිරිමි සහාය දිවීමේ තරගයට සහභාගි වූ මොහොමඩ් අෂ්රෆුල්, ෂෙහාන් අඹේපිටිය, විනෝජ් සුරංජය හා හිමාෂ ඒෂාන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායමට තත්. 39.71ක කාලයක් සටහන් කරමින් රිදී පදක්කම හිමිවිය.

මීටර් 4×400 පිරිමි සහාය දිවීමේ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම වි:3:08.26 කාලයක් සටහන් කරමින් ලෝකඩ පදක්කම දිනාගත්තේය.
2017 වසරේදී මීටර් 16.39ක දුරක් සටහන් කරමින් තුන්පිම්ම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාලාභියා වන සංජය සඳරුවන් ඊයේ තුන්පිම්ම ඉසව්වට සහභාගිවුවද මීටර් 15.49ක දුරක් සටහන් කළ ඔහුට හිමිවූයේ සිවුවැනි ස්ථානයයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon