ජනවාරි-8 ඊනියා ජනතා විප්ලවයට එරෙහවි ගමේ ජනතාව බල පෙරළියක් කළා

  👤  3439 readers have read this article !
By mawbima 2018-02-15

ඉකුත්දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මෙසේය.
2015 ජනවාරි 08 ශ්‍රී ලංකාව තුළ සිදුකෙරුණු ආණ්ඩු පෙරළිය හුදෙක් දූෂණ විරෝධී ජනතා විප්ලවයක් ලෙස උදම් අනමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය කරමින් බලය පිහිටුවීමෙන් පසු රටේත් ජනතාවගේත් අපේක්ෂිත පරමාර්ථ ඉටු කරදීමට වත්මන් පාලක පන්තිය අපොහොසත් වීමට එල්ල වූ විරෝධයට ගමේ සිදුවූ­ මේ බල පෙරළිය හොඳම නිදසුනකි.

තිස් වසරක් පුරා පැවැති ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය බොහෝ නායක නායිකාවන් බලය රැක ගැනීම උදෙසා හිඟන්නාගේ තුවාලයක් කර ගනිමින් ක්‍රියා කළ අන්දම අමතක කළ නොහැකිය. එහෙත් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයන්ගේ මඟපෙන්වීම මත මේ රටේ දහස් ගණන් රණවිරුවන් දිවි පුදා රැක ගත් දේශය ජාත්‍යන්තර මෙන්ම දේශද්‍රෝහී අන්තවාදී ජාතිවාදී එන්. ජී. ඕ. බලවේගයන්ට පාවා දීමට දුර්වල පාලන තන්ත්‍රයක් බිහිවීම තුළින් අප රටට ජාතියට සමයට බරපතළ අපරාධයන් සමූහයක් සිදුකරලීම රටේ අභාග්‍යයකි.

මෙසේ වසර දෙකක් වැනි කුඩා කාල පරාසයක් තුළ මේ සා විශාල විනාශයක් රටට සිදු කෙරෙන විට මේ රටේ වගකිව යුතු වැදගත් මහ සංඝයා, වියතුන් හා දේශ හිතෛෂීන්ගේ හඬ තුට්ටු දෙකකටවත් නොසලකා කටයුතු කිරීමට එරෙහිව ගම් මට්ටමේ සිදු කළ පළාත් පාලන මැතිවරණයෙන් පොදු ජනතාව ඓතිහාසික තීන්දුවක් දී ඇති බව සතුටින් යුතුව සිහිපත් කරමි.

ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හා අන්තවාදී ද්‍රෝහී බලවේග ආගමික නායකයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ සිදු කළ අපහාස හා උපහාස මේ රටේ කුඩා දරු පරපුරට දුන් නරක පූර්වාදර්ශයකි. අද වනවිට රටේ දරු පරපුර වැඩිහිටියන්ට, නායකයන්ට අපහාස උපහාස කරමින් සිටින අයුරු මුහුණු පොත දෙස බලන අයට වටහා ගත හැකියි. මේවා මේ කෙටි රාජ්‍ය පාලන සමය තුළ සිදුකළ යහපාලනයේ ප්‍රතිඵලයි.

දැන් පළාත් පාලන ඡන්දය අවසන්ය. ජයග්‍රාහකයන්ට පාලන බලය ලබාදීමට ආණ්ඩුව ක්‍රියාකළ යුතුයැයි ඇතැම්හු කියති. ආණ්ඩුව ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තුව සිටි සැලසුම් සහගත ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් ජනමත විචාරණයක් දැන් අවශ්‍ය වන්නේ නැත. කළ යුත්තේ ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එරෙහිව මෙම ඡන්දය ජනමත විචාරණයක් සේ සැලකිය යුතුයි. එබැවින් ජනමතයට හිස නමා රටට, දැයට, සමයට එරෙහි සියලු යෝජනා හකුළා ගන්නා ලෙස ද සිහිපත් කරමි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට එරෙහිව මේ රටේ තෛ්‍රනිකායික මහා සංඝයා ගෙන ගිය සටනද ජයග්‍රහණය කර ඇති බවටද මෙය සාක්ෂියකි. එමෙන්ම මෙම ඡන්ද ප්‍රතිඵලය ගම් මට්ටමේ දේශපාලන අනුගාමිකයන්ට දූෂණ සිදු කිරීමට ලබාදුන්නක් නොවේ. එක් අතකින් මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාටද පෞද්ගලිකව ලබාදුන් ජයග්‍රහණයක්ද වේ. ඒ බව ගම් මට්ටමේ දේශපාලකයන් අමතක නොකළ යුතුයි.

හිටපු ජනපතිතුමනි, පසුගිය වකවානුව තුළ පාලකයකු විසින් කළ යුත්තේ කුමක්ද යන්නට හොඳ පාඩම් සමූහයක් ඔබතුමන්ටද ලැබී ඇති බව අපගේ හැඟීමයි. වත්මන් පාලකයන් රටට, ජාතියට හානිකරව ගත් තීන්දු තීරණවලට එරෙහිව අප නැඟූ හඬද ප්‍රබල සාධකයකි. දූෂිත අවස්ථාවාදී ඇතැම් වාචාල පරාජිත දේශපාලකයන් ළංකර නොගෙන මහජන හඬට එකඟව ක්‍රියා කළ යුතු බව අවධාරණය කරමි. එමෙන්ම ගම් මට්ටමේ අනුගාමිකයන්ට අයාලේ යන්නට ඉඩ නොදී නිසි මඟට යොමු කරලීම ඔබතුමන්ගේ වගකීමයි. මහජන හඬට සවන් නොදෙන පාලකයන්ට මෙම මැතිවරණයෙන් ලබාදුන් තීරණය රටේත් ජාතියේත් ඓතිහාසික ජයග්‍රහණයක් බව සනාථ කිරීම එතුමන්ගේ වගකීම හා යුතුකමක්ද වන්නේය.

* ජනතා විරෝධය නොතකා හම්බන්තොට වරාය, ගුවන්තොටුපළවල්, තෙල් ටැංකි වැනි ජාතිය සතු සම්පත් මහා
පරිමාණයෙන් විකිණීම.
* රට නිදහස් කරගත් රණවිරුවන් සිරගත කරමින් ඔවුන්ට හිංසා පීඩා කිරීම.
* රක්ෂිත කැලෑ එළිකොට මහා පරිමාණයේ ඉඩම් කොල්ල කෑමට ජාතිවාදීන්ට ඉඩ හැරීම.
* රටේ ආරක්ෂාව නැති කිරීම තුළින් යළි බෙදුම්වාදීන්ට නැඟී සිටීමට ඉඩ සැලසීම.
* රට තුළට ජාත්‍යන්තර විවිධ කුමන්ත්‍රණකාරීන්ට ඇතුළු වීමට ඉඩදීම.
* පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අණපනත් සම්මත කිරීම.
* බෙදුම්වාදීන්ගේ මන‍ෙදාළ පිනවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පෙන්වා රට ෆෙඩරල් කිරීම තුළින් කැබැලි කිරීමට
සැලසුම් කිරීම.
* ඓතිහාසික උරුමය වන බුදු සසුනට හිමි තැන නැති කොට රට අනාගමික රාජ්‍යයක් කිරීමට සාකච්ඡා කිරීම සඳහා
ද්‍රෝහී බලවේගයන්ට ඉඩදීම.
* මේ රටේ වගකිව යුතු මහ නායක මාහිමිවරුන් අතර මතභේද ඇති කොට සංඝ භේදයට යත්න දැරීම.
* භික්ෂුන් වහන්සේට ඉතිහාසයේ නොවූ තරම් තාඩන හා පීඩන, සිරගත කිරීම් හා අපහාස කිරීම්, ජාතිවාදීන් ලෙස
හංවඩු ගැසීමට ඉඩ හැරීම.
* මහා පරිමාණයෙන් ඓතිහාසික පුරාවස්තු ඩෝසර්
කරමින් රටේ සභ්‍යත්වය විනාශ කිරීමට ඉඩහැර බලා සිටීම.
* මැති ඇමැතිවරුන් ලවා භික්ෂුන්ට චීවරධාරීන්, හොරුන් යනාදී ලෙස අපහාස කරවීම්.
* ලොව කිසිදු රාජ්‍යයක නොවූ තරමේ මහා බැංකු කොල්ලයක් සිදුකොට රටේ ආර්ථිකයට අපරාධයක් සිදු කිරීම.
* යහපාලන සංකල්පය දඩමීමා කර ගනිමින් වෛරය හා ද්වේෂය පතුරුවාලීම්
* පාතාලය නැති කරනවා වෙනුවට පෝෂණය කිරීම.
* පාසල් දරුවන් මතට ඇබ්බැහි වීම පාලනය නොකිරීම හා මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය කන්ටේනර් මඟින් ගෙන ඒම
හා ඔවුන් නීතියේ රැහැනට හසු නොකිරීම.
* කාන්තාවට මත්පැන් හල්වලින් මත් වතුර ගැනීමට හා ඒවා පවත්වාගෙන යෑමට නීති ගෙන ඒම.
* අපේ සංස්කෘතියට අභියෝග කරමින් සමලිංගික විවාහය නීතිගත කිරීමට යත්න දැරීම.
* ජාතිවාදී පදනම මත සිංහල බෞද්ධ උරුමයන්ට හානි වන ලෙස මැතිවරණ සීමා නිර්ණය කිරීමට ඉඩදීම.
* ව්‍යාපෘති සඳහාය කියමින් අක්කර 10-15 බැගින් කන්ද උඩරට ඉඩකඩම් අන්තවාදීන්ට ලබා දීමට ක්‍රියා කිරීම.
* රටේ අනන්‍යතාව වන ජාතික ගීය ජාතිවාදී පදනම මත අවභාවිත කිරීමට ඉඩ හැරීම.
* විශ්වවිද්‍යාල සිසුන් ඉල්ලීම් ලබා ගැනීමට උද්ඝෝෂණය කරද්දී පහරදී මර්දනය කොට බොරු පොරොන්දු දී රැවටීම.
* රටේ අධ්‍යාපනය තුළ කුමන්ත්‍රණකාරීන්ට ඉඩකඩ ලබාදී සංහිඳියාවේ මුවාවෙන් ඉතිහාස විෂය පවා නැති කිරීමට යත්න දැරීම.

 මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon