ආණ්ඩුවේ ඇමැතිවරුන් දුන් අල්ලස් අරන් ජනතාව පොහොට්ටුව තිස්සෙදි දිනෙව්වා

  👤  3447 readers have read this article !
By mawbima 2018-02-15

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අල්ලස් ලබාදෙමින් මේ ඡන්දය ලබා ගැනීමට කටයුතු කළත් බුද්ධිමත් ජනතාව මේ කිසි දෙයකට රැවටුණේ නැතිව අල්ලස් ලබාදුන් අමාත්‍යවරුන්ව රවටා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට කටයුතු කළ බව හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (13දා) දහවල් තිස්සමහාරාම සිය නිවෙසේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී චමල් රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසය තුළ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සිදුවූ අක්‍රමිකතා හා සිදුවූ නීති උල්ලංඝනය වීම්, අල්ලස් දීම් පිළිබඳව වාර්තා වෙලා තියෙනවා. ඒවා පිළිබඳව කතා කරන්න මේ සාකච්ඡාව කැඳෙව්වා.

අග්බෝපුර කොට්ඨාසයෙන් මා වෙත ලබාදීලා තියෙනවා චෙක්පත්. මෙම කොට්ඨාසයේ ඡන්දයට පෙරදා රාත්‍රියේ එම කොට්ඨාසයට තරග කළ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා විසින් ගෙදරටම ඇවිත් 2018.02.02 දින ලියන ලද මහජන බැංකුවේ රුපියල් විසිදාහක චෙක්පතක් ජාතික නිවාස අධිකාරියේ හම්බන්තොට උප කාර්යාලය මඟින් ගෙයක් ගාණේ නිකුත් කරලා තියෙනවා. අපි ළඟ ඒ චෙක්පත් ගොඩක් තියෙනවා. නමුත් මේ පිරිස් ඡන්දෙ දුන්නේ නෑ. තව පනස්දාහෙ චෙක්පත් ඒ අතර තිබෙනවා. මේ ආකාරයෙන් තමයි එම අපේක්ෂකයා ඡන්දය ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ වගේම එම කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයා පරාජය වෙලා තියෙන්නේ ඡන්ද 156කින්.

මෙලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අල්ලස් ලබාදෙමින් ඡන්දය ලබා ගැනීමට කටයුතු කළත් තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ ඉන්න බුද්ධිමත් ජනතාව මේ කිසි දෙයකට රැවටුණේ නෑ. ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය පාවිච්චි කළා. ඒ අනුව නිවාස ණය, නිවාස, සිමෙන්ති කොට්ට, ටකරන්, මුදල් ලබාදීම් සියල්ල පරාජය කරන්න හැකි වුණා. එපමණක් නොවෙයි ඒවා ගත් අයත් රටේ තියෙන ප්‍රශ්න අවබෝධ කරගනිමින් ඔවුන්ගේ ඡන්දය රට වෙනුවෙන් ලබාදිලා තියෙනවා. ඔවුන් අල්ලසට යට වුණේ නැහැ. ඒ නිසා මේ තරග කළ හැමදෙනා වෙනුවෙන්ම මම තිස්සමහාරාම කොට්ඨාසයේ අපිට ඡන්දය ලබාදීපු සියලු දෙනාටම මගේ ආචාරය, ප්‍රණාමය පුද කරනවා.

"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සන්ධාන ගතවෙන බවට ජනතාව අතර විවිධ මත නොයෙක් කට කතා ප්‍රචාරය කරන්න පුළුවන්. නමුත් ජනතාව ඡන්දය ලබාදීලා තියෙන්නේ අලුත් පක්ෂයකට. අපේ අලුත් පක්ෂයට මාස කීපයයි. ඒක අලුත් ලකුණක්. ඒ අය විශ්වාස කරන්නේ නෑ කවදාවත් ආණ්ඩුව සමඟ එකතු විය යුතුයි කියලා. එහෙම එකතු වුණොත් මේ විශ්වාසය බිඳිලා යන බවත් එම නිසා කිසි කෙනෙක් තවත් කෙනකුට එකතු වීමට අවශ්‍යතාවක් නැහැ.
අපේ ප්‍රතිපත්ති වෙනස්. අපේ වැඩපිළිවෙළ වෙනස්. අපි කරගෙන ගිය යම් වැඩ කොටසක් වුණාද ඒවායේ අඩුපාඩු තිබුණා නම් ඒවා සංශෝධනය කරගෙන නිවැරැදි කරගෙන රටේ අවශ්‍යතාව, ජාතියේ අවශ්‍යතාව අනුව තමයි ඉදිරියට යන්නේ.

කිසිම කෙනෙක් මේ වෙනකොට මට අගමැතිකමක් දෙනවා කියලා නෑ. මෙහෙම අගමැතිකම් භාරගැනීමෙන් වැඩක් නෑ. ජනතාව විසින් ඔවුන්ගේ කැමැත්තෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා තෝරා ගත යුතුයි. ඒ සඳහා අපි මේ ඡන්ද ප්‍රතිඵලයත් සමඟ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය තව අවුරුදු දෙකක් බලාගෙන ඉන්නෙ නැතුව ඉක්මනින් ආණ්ඩුව විසුරුවා හැරලා මැතිවරණ දෙකම එක දවසෙ පවත්වන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට ජනතාවට තීන්දුවක් ගන්න පුළුවන්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon