සාස්තරයට කියූ රන් නිධානය ගොඩ ගන්න ගල් තලාව පිපිරවූ තරුණයා අත්අඩංගුවට

  👤  3231 readers have read this article !
By mawbima 2018-02-15

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

දේවාලයකදී සාස්තරයකට කියූ වටිනා රන් ආභරණ සහිත නිධානය ගොඩගැනීම සඳහා සිය නිවෙස පිටුපස තිබෙන ස්වාභාවික ගල් තලාවක් පුපුරුවා හැර විශාල වළක් හාරා නිදන් සොයමින් සිටි තරුණයකු එප්පාවල පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (13දා) සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එප්පාවල නල්ලමුදාව කොළොංගස් හන්දිය ආසන්නයේ පිහිටි නිවෙසක පදිංචිව සිටින 36 හැවිරිදි පුද්ගලයෙකි. එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව අදාළ ස්ථානය වටලා ගෙවත්ත පිහිටි ගල්තලාවේ නිදන් සොයමින් කැණීමක් සිදුකළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබිණි.
මාස කිහිපයක් තිස්සේ කැණීම් සිදුකළත් තමන්ට කිසිදු නිදන් වස්තුවක් හමුනොවූ බවද සැකකරු පොලිසියට පවසා තිබිණි.

සැකකරුගේ නිවෙස තුළ තිබී කැණීම් සඳහා භාවිත කළ ගල්කඩන කටු, උදලු, තාච්චි, අලවංගු ඇතුළු උපකරණ කිහිපයක් පොලිසිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (14දා) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කැණීම් සඳහා සම්බන්ධ වූ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට එප්පාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

එප්පාවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ අධිකාරි, කාන්තා පොලිස් පරීක්ෂක චාන්දනී, පොලිස් සැරයන් ජයරත්න (62626), පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර (47866), චන්දන (40097), විජේවර්ධන (15798), විජේකෝන් (61047) කාන්තා පොලිස් කොස්තාපල් රුවන්ති (8838), කොස්තාපල් රියැදුරු බණ්ඩාර (39651) විශේෂ කාර්යාංශ පොලිස් කොස්තාපල් ගයාන් (38674), පොලිස් සහායක රණවීර (598) යන නිලධාරීහු වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon