තනි ආණ්ඩුවක් ගැන කියමින් රනිල්-මෛත්‍රි හදන්නේ අලුත් ආණ්ඩුවක් ඉල්ලන ජනමතය යටපත් කිරීමටයි

  👤  3483 readers have read this article !
By mawbima 2018-02-15

එජාපය සහ ශ්‍රී ලනිපය තමන්ට තනි ආණ්ඩුවක් අවශ්‍ය බව පවසමින් රටේ ජාතික මතය යටපත් කිරීමට ඉතාමත් නිර්මාණශීලී ප්‍රයත්නයක් දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

ආණ්ඩුවේ පාර්ශ්ව දෙක අතර මත ගැටුම් ඇති බව පෙන්වමින් සිදු කරනුයේ රඟපෑමක් බවත් ආදරවන්තයන්ගේ දිනයේ අවසන් හෝරා කීපයේදී ආණ්ඩුව තවදුරටත් හවුල් ආණ්ඩුව ගෙනයන බවට ජනතාවට වැලන්ටයින් පණිවුඩය ලබාදෙන බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.


බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (14දා) වැනිදා පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද පැවැසීය.
මේ රටේ ජනතාවගෙන් 80%කට වඩා අවුරුදු තුනකට කලින් ඡන්ද පොළට ගියා වෙනසක් පතාගෙන. ඒ ජනතාවට ඊට ආසන්න ප්‍රතිශතයකින් මීට දවස් තුන හතරකට පමණ පෙර ඡන්ද පොළට ගියා ඒ වෙනස වෙනස් කරන්න. ඔවුන් මේ මැතිවරණය හරහා මහා ජනමතයක් නිර්මාණය කරලා තිබෙනවා. මෙලෙස මහා ජනමතයක් නිර්මාණය කළේ ඇයි. ජනතාව ප්‍රතික්‍ෂේප කළේ කාවද, පෙබරවාරි 10 වැනිදා දස ලක්‍ෂ සංඛ්‍යාත මිනිස්සු ඡන්ද පොළට ගිහින් ප්‍රතික්‍ෂේප කළේ මේ හවුල් ආණ්ඩුවේ සමස්ත ප්‍රතිපත්ති. අපි ආණ්ඩුවට නැවත අවධාරණය කරන්නේ මේ ජනමතයට ගරු කරන්න කියලයි. 2015 ජනවාරි 09 වැනිදා තුනෙන් දෙකේ බලයක් සහිතව හිටපු පාර්ලිමේන්තුව වෙනස් කරනු ලැබුවේ ඊට පැය 24කට පෙර ලැබුණු ජනමතය පදනම් කරගෙන. කිසිදු ව්‍යවස්ථාමය හෝ නෛතික ප්‍රතිපාදන ඇතුව නොවෙයි මේ අය පාර්ලිමේන්තුව වෙනස් කළේ. අගමැතිවරයා වෙනස් කළා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලියි අගමැතිවරයාගේ මිය යෑමෙන්, ඉල්ලා අස්වීමෙන් හෝ අගමැතිවරයාට විශ්වාසභංග යෝජනාවක් සම්මත වීමෙන් තමයි නව අගමැතිවරයෙක් පත් කරගත හැකි වන්නේ. නමුත් අපේ දි.මු. ජයරත්න අගමැතිවරයා ඉතාම හොඳ නිරෝගී තත්ත්වයෙන් සිටිනවා.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්කත් පරාදයි. කැබිනට් ඇමැතිවරුන් 04 දෙනකු හැර අනෙක් සියලුදෙනාම තමන්ගේ කොට්ඨාස පරාදයි. රාජ්‍ය ඇමැතිවරු 02ක් හැර අනෙක් සියලුදෙනාම කොට්ඨාස පරාදයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරුන් තමන් නියෝජනය කරන දිස්ත්‍රික්ක පරාදයි. ඒ වගේම හිටපු ජනාධිපතිතුමිය නියෝජනය කරන අත්තනගල්ල ආසනය පරාජය වෙලා තිබෙනවා. කතානායකවරයාත් තමුන්ගේ ආසනය පරාජය වෙලා. ඒ අනුව අද ආණ්ඩුව ගැඹුරු පරාජයකට පත්වෙලා තියෙනවා.

මංගල සමරවීර ඇමැතිවරයා සහ රාජිත සේනාරත්න මහතා මැතිවරණ ප්‍රතිඵලවල සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් මේ දිනවල ජනතාවට ගණිත විනෝදය සපයනවා. අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයොත් වංචා දූෂණවලට එරෙහිව ඡන්දය භාවිත කරලා තිබෙනවා. මේ ජනතාව පෙනී සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්.

පෙරේදා සිට රාජ්‍ය සේවකයන්ට, පොලිසියට, මහජනතාවට තිබෙන්නේ අලුත් රටක්. අලුත් ආණ්ඩුවක්. අපි මේ අයට කියන්නේ පරණ ආණ්ඩුව ලබාදෙන නෛතික නොවන කිසිම නියෝගයක් ක්‍රියාත්මක කරන්න එපා කියලයි.

පෙරේදා සිට අලුත් මාතෘකාවක් ඇවිත් තිබෙනවා. කට්ටියක් කියනවා කොළ ආණ්ඩුවක් හදනවා කියලා. අනිත් අය කියනවා නිල් ආණ්ඩුවක් හදනවා කියලා. මේ අය කරන්න හදන්නේ කුමක්ද? මේක ඉතාම නිර්මාණශීලී ප්‍රයත්නයක්. මේ පැය 48ක කාලය තුළ ආණ්ඩුව කළේ රටේ ජාතික මතය යටපත් කිරීමට කටයුතු කිරීමයි. මේක රඟපෑමක්. කිරිඇල්ල ඇමැතිවරයා කියා සිටියා මැතිවරණයෙන් පසුව පරණ පුරුදු ලෙසම ප්‍රේමවන්තයන් සේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිටින බව. එම නිසා සියලුම පුවත් පසෙක දාලා කිරිඇල්ල ඇමැතිවරයාගේ ප්‍රවෘත්තිය පමණක් මතක තබාගන්න. වැලන්ටයින් දිනයේ අවසන් හෝරා කිහිපයේ ආණ්ඩුව ජනතාවට වැලන්ටයින් පණිවුඩය ලබාදෙයි.

ඒ වගේම තමයි පළාත් පාලන ආයතනවලට විමධ්‍යගත අරමුදල් ආණ්ඩුවෙන් සපයන්නේ නැති බව මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළා. නමුත් පැහැදිලිව සඳහන් කළ යුතුයි, පළාත් පාලන ආයතනවලට ආදායම් ලැබෙන්නේ වරිපනම් ගාස්තුවලින්, මුද්දර ගාස්තුවලින්. පළාත් පාලන ආයතනය සතුව තමයි මේ ආදායම් රැස්කර ගැනීම තිබෙන්නේ. මැතිවරණ වේදිකාවේ මේ ගැන කියලා ජනතාව මුළා කිරීමක් සිදු කළේ. එය ශුද්ධ වූ බොරුවක්.

එජාපය තනි ආණ්ඩුවක් කියලා කියන්නේ බැංකු මංකොල්ලකරුවන්ගේ ආණ්ඩුවක්. දේශපාලන අසරණතාවයේ හඬ තමයි අපට ඇහෙන්නේ. නිහඬ ජනමතය කෙතරම් ප්‍රබලද කියලා ආණ්ඩුව තේරුම් ගත යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ
ජනතාව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක ප්‍රතික්ෂේප කර තිබෙනවා. එපමණක් නොවෙයි දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණත් ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. විපක්ෂය විසින් පත් කළ ආණ්ඩුවටත් ආණ්ඩුව විසින් පත් කළ විපක්ෂයටත් විරුද්ධව ඡන්දය ලබාදීලා ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජනතාව පෙන්වා දී තිබෙන්නේ තවදුරටත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය අවශ්‍ය බව.
එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හදපු පළාත් පාලන ආයතන පිළිබඳ පනත වගේ නොවෙයි මේ ආණ්ඩුවෙන් හදපු පළාත් පාලන ආයතන පිළිබඳ පනතවිකෘති වෙලා තිබෙනවා. ඇතැම් කොට්ඨාසවල 71%ට වඩා ජයගත් සභා තිබුණත් අස්ථාවර සභා ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට තමන් ගෙන ආ පනත මඟිනුත් ජයග්‍රහණය කරගන්න බැරි වුණු නිසා දැන් ජනතාවට චෝදනා කරනවා.

ජනවාරි 08 ජනවරම අද නැති බව පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. ඒ නිසා සදාචාරාත්මකව, පරාජය ජයක් ලෙස අර්ථකථනය කර තවත් ලෝක වාර්තාවක් නොතබා සාධාරණත්වය ඉටුකරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර අලුත් ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ජනතාවට ලබාදෙන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි
සකස් කර තිබුණු මන්ත්‍රි ධුර 4488ක් තිබුණු ක්‍රමය වෙනුවට පනත සංශෝධනය කර මන්ත්‍රි ධුර 8825ක් තියෙන ක්‍රමයක් ගෙනාවේ මේ ආණ්ඩුවයි. මාසිකව මේ අයගේ වැටුප් හා අනෙකුත් දීමනා සඳහා රුපියල් කෝටි 156ක මුදලක් ගෙවන්න වෙනවා. ඒ මදිවට මාස තුන හතරක්ම ජනතාවට සේවය කරනවා වෙනුවට කරන්න වෙන්නේ මේ අයට රැස්වෙන්න හැකි ආකාරයට සභා විශාල කිරීමයි. කුමන්ත්‍රණකාරීව එජාපය හා ජේවිපීය එකතු වෙලා රටට වඩා විශාල බරක් පැටවීමයි කළේ. මේ වනවිට ආණ්ඩුවෙ ප්‍රධාන පාර්ශ්ව දෙක එකතු කිරීම සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලය හා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මැදිහත් වෙමින් සිටිනවා. මේ බටහිර ගැති රූකඩ පාලනය වෙනුවට මහජනතාවට අලුත් ආණ්ඩුවක් අවශ්‍ය වෙලා තියෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon