කුකුළු ගොවිපොළක මහා පරිමාණ කසිප්පු තිප්පොළක්

  👤  3302 readers have read this article !
By mawbima 2018-02-15

වෙන්නප්පුව - ඇම්. ඩී. රවින්ද්‍ර, නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

කුකුළු ගොවිපොළක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් එහි නිවෙසක් පරීක්ෂා කිරීමේදී ගිනි අවි ඇතුළු ආයුධ රැසක්, ජීව උණ්ඩ තොගයක්, නීති විරෝධී මත්පැන් තොගයක්, පෙරීමේ උපකරණ සමඟ සැකකරුවන් දෙදෙනකු පානදුර වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

කසිප්පු පෙරීමේ ස්ථානයක් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව දංකොටුව පොලිස් වසමේ කැරන්වත්ත ප්‍රදේශයේදී පෙරේදා (13දා) රාත්‍රි මෙම වැටලීම කර තිබේ. අදාළ නිවෙසේ පිටුපස කුකුළු ගොවිපොළක ඇතුළත මහා පරිමාණයෙන් කසිප්පු තිප්පොළ පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
කසිප්පු තිප්පොළ පවත්වාගෙන ගිය බව කියන සැකකරුගේ නිවෙස ඇතුළත පරීක්ෂා කිරීමේදී පෙරන ලද කසිප්පු ඩ්‍රෑම් 12,960ක් අත්අඩංගුවට ගෙන අල්මාරියක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ ගබඩා කර තිබූ ජීව උණ්ඩ සහ ගිනි අවි සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

රුසියාවේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ තුවක්කු 02ක්, මෙරට නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක්, ප්ලාස්ටික් පිස්තෝල තුනක්, ටී-56 වර්ගයේ ජීව උණ්ඩ 12ක්, බෝර 12 ජීව උණ්ඩ 35ක්, ලේසර් උණ්ඩ 03ක්, පිස්තෝල උණ්ඩ 05ක්, 9 වර්ගයේ ජීව උණ්ඩ 23ක්, විදේශීය රටක නිෂ්පාදිත කඩු 02ක් හා උල් පිහි 02ක් නිවෙසේ තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර කසිප්පු ඩ්‍රෑම්ස් 129,690ක්, යකඩ බැරල් 04ක්, තඹ දඟර 06ක් ගෑස් ළිප් 02ක් ඇතුළු පෙරීමේ උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වැටලීම කරන අවස්ථාවේදී නිවෙසේ හිමිකරු පලාගොස් ඇති බවත් දන්කොටුවේ සහ යෝගියාන ප්‍රදේශවල පදිංචි 20 හා 37 හැවිරිදි දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ ගිනි අවි, ජීව උණ්ඩ, නීති විරෝධී මත්පැන් සහ පෙරීමේ උපකරණ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දන්කොටුව පොලිසියට භාරදී තිබේ.

මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් ඇතිව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම ඔස්සේ කොස්තාපල් කිතුල්ගොඩ (35499), රත්නායක (76829), මධුශංක (85150), රණවීර (52294), බටුවත්ත (1445), තෙන්නකෝන් (87154), රියැදුරු දිසානායක (80178) හා ලක්මාල් (80553) යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon