ජාකාර්තා මලල ක්‍රීඩා තරගාවලියේදී දිල්හානිගෙන් තවත් රන් පදක්කමක්

  👤  3528 readers have read this article !
By mawbima 2018-02-14

විචිත්‍ර වීරසිංහ

ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී මේ දිනවල පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියේදී ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් දිනා දීමට දිල්හානි ලේකම්ගේ සමත් වූ අතර, තවත් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිවිය. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් හතරක් හා ලෝකඩ පදක්කම් පහක් දිනාගෙන සිටී.

ඒ අනුව ඊයේ පැවැති හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වට එක්වූ දිල්හානි ලේකම්ගේ එහිදී මීටර් 55.13ක දුරක් සටහන් කරමින් රන් පදක්කමක් දිනාගනිද්දී දිල්හානි ඇතුළුව එම ඉසව්වට සහභාගි වූ ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් අනෙක් ක්‍රීඩිකාව වූ චීන තායිපේ කණ්ඩායමේ ලී ජුන් මීටර් 52.79ක දුරකට හෙල්ලය විසි කරමින් රිදී පදක්කම දිනාගත්තාය.

කෙසේ වෙතත් පසුගිය වසරේ ඉන්දියාවේදී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී රිදී පදක්කමක් දිනාගැනීමට දිල්හානි සමත්ව තිබුණේ ඇයගේ හොඳම දක්‍ෂතාව වන මීටර් 58.11ක දුරකට හෙල්ලය විසි කරමිනි.

ශ්‍රී ලංකාවට ලැබුණු අනෙක් රිදී පදක්කමේ අයිතිය තුන් පිම්ම කාන්තා ඉසව්වේදී මීටර් 13.28ක පිම්මක් සටහන් කළ විදූෂා ලක්‍ෂානිට හිමි වූ අතර, එහි ලෝකඩ පදක්කම දිනාගැනීමට හෂිනි ප්‍රබෝදාට හැකි වූයේ මීටර් 12.98ක දුරක් වාර්තා කිරීම හේතුවෙනි.
එහි රන් පදක්කම මීටර් 13.33ක දුරක් වාර්තා කළ ඉන්දියාවේ ෂීනා වර්ක්කේට හිමි වූ නමුත් පසුගිය වසරේ ඉන්දියාවේදී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී විදූෂා මීටර් 13.33ක දුරක් සටහන් කරමින් සිවුවැනි ස්ථානය දිනාගෙන තිබිණි.

මේ අතර ඊයේ දිනයේදී
ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් ඉසව්ව වූ මීටර් 5000 පිරිමි ඉසව්වට සහභාගි වූ ආර්.එම්.එස්. පුෂ්පකුමාර එහිදී විනාඩි 14:34:86ක කාලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනාදුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon