මේ ආණ්ඩුව හරියට මැෂින් එකෙන් දුවන අයි.සී.යූ. එකේ ඉන්න ලෙඩෙක් වගේ

  👤  3351 readers have read this article !
By mawbima 2018-02-14

ඔළුගෙඩි මාරු කොට සෑදීමට යන පැලැස්තර ආණ්ඩුවක් ජනතාව මේ මොහොතේ අනුමත කර නොමැති බවත් ආණ්ඩුව වහාම විසුරුවා හැර ජනමතයකින් ආණ්ඩුව සෑදීමේ අවස්ථාව ජනතාවට ලබාදිය යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් පවසයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (13දා) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඔහු මෙසේද පැවැසීය.

දැන් එ.ජා.පය කතා වෙනවා තනි ආණ්ඩුවකට යන්න. ටී.එන්.ඒ. එකත් එක්ක එකතු වෙලා කරු ජයසූරියව අගමැති ධුරයට පත් කරලා නැවත ජාතික ආණ්ඩු ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට ජනාධිපතිගේ පාර්ශ්වය කතා වෙනවා. පැලැස්තර විසඳුම් නෙමෙයි ජනමතයෙන් කියැවෙන්නේ. ජනමතය ඉතා පැහැදිලිවම අගමැතිවත්, ජනපතිවත් එකට තියලා පරද්දලා ආණ්ඩුවේ සමස්ත ක්‍රියාවලියම ප්‍රතික්ෂේප කරලා ඉවරයි.
මේ ආණ්ඩුව අද මැෂින් එකෙන් දුවන අයි.සී.යූ. එකේ ඉන්න ලෙඩෙක් ගාණට වැටිලා ඉන්නේ.

ආණ්ඩුව ජනතාවගෙන් ඉවත් වෙලා ඉවරයි. රටේ ජනතාව මහා දැවැන්ත වගකීමක් එතුමාගේ කර මතට දැන් පටවලා ඉවරයි. රටේ ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, විපක්ෂ සංවිධායක කියන මේ කට්ටියම හතරට බෙදිලා එක පොකුරට එක කඳවුරකට පහර දෙද්දී ඒ කඳවුරට හැකි වුණා භූමියෙන් 72% ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න. 40% ලැයිස්තුව නොතිබුණා නම් සමහර පක්ෂවලට එක මන්ත්‍රි ධුරයක්වත් නැතිවෙයි.

රාජිත කියන්නේ නම් මහින්දව ජනතාව ප්‍රතික්ෂේප කරලා කියලා. ඔහුගේ තර්ක අනුව නම් මෛත්‍රි ජනාධිපතිව ඡන්ද දායකයන් 88%ක්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ජ.වි.පෙට මෙරට ඡන්ද දායකයන්ගෙන් 94%ක්ම ඡන්දෙ දීලා නෑ. එ.ජා.පයටත් 68%ක රටේ ජනතාව ඡන්දය දීලා නෑ. මේ මැතිවරණයෙන් ජනතාව බැඳුම්කර හොරුන්ට දඬුවම් දුන්නා. රට බෙදන ව්‍යවස්ථා ගෙනාපු අයට නැවත ඒවා ගෙන ඒමට කිසිදු අයිතියක් නැහැ කියන එක මේ මැතිවරණයෙන් ඔප්පු කරලා පෙන්නුවා. ඒ වගේම වීරෝදාර රණවිරුවන් දඩයමට, රටේ සම්පත් විකුණගෙන කෑමට, යළි මේ ආණ්ඩුවට අයිතියක් නොමැති බවත්, ජනතාව මත පටවා තිබූ ජීවන බර, බදු බර නිර්මාණය කරපු යහපාලනයටත් යළි ඉඩක් නැති බවත් පෙන්වා දුන්නා.

ජ.වි.පෙ මැදිහත් වෙලා ලැයිස්තුව 40% කර ගත්තේ ඔවුන් දන්නවා අඩුම ගානේ ලංකාවේ කොට්ඨාස හයදාස් ගාණෙන් එකදු කොට්ඨාසයක්වත් දිනාගන්න බැරි බව. ලැජ්ජා හිතෙනවා. ලංකාවේ වාමවාදී දේශපාලන පක්ෂවලට අත්වෙලා තියෙන ඉරණම ගැන. ගමේ බලය ජ.වි.පෙට ඉල්ලුවට එක කොට්ඨාසයක්වත් දිනාගන්න ඔවුන්ට බැරිවුණා. ඩීල් ගහන්න ගියාම ඕක තමයි වෙන්නේ. අතීතය අමතක කරලා කපුගේලාව අමතක කරලා සුනිල් පෙරේරලාව නග්ගගත්ත ජ.විපෙට අද ජනතාව හොඳ පාඩමක් උගන්නලා තියෙනවා. සුවිශේෂි ප්‍රතිඵලය තේරුම්ගෙන මහත්වරුනි වේදිකාවෙන් බැහැලා යන්න කියන එකයි අපිට කියන්න තියෙන්නේ.

 හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon