දැන් උඹලා හිටියා ඇති මේ රට විනාශ නොකර පලයල්ලා

  👤  3674 readers have read this article !
By mawbima 2018-02-14

"දැන් උඹලා හිටියා ඇති. වහාම මේ රට විනාශ නොකර පලයල්ලා" යන පණිවුඩය පසුගිය 10දා පැවැති මැතිවරණයේදී රටේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් බව මවුබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අවධාරණය කරති.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රට ගෙන යෑමට බලයක් නැති බවත් රට ගෙනයෑමට හැකි මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබාදී තම ගෞරවය රැකගෙන නම්බු පිටින් ගෙදර යන ලෙසත් උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

පැවිදි හඬ සංවිධානය ඊයේ (13දා) අභයාරාමයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආනන්ද හිමියෝ මේ බව පැවැසූහ.
එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේද පැවැසූහ.

මේ රටට ආදරේ ඇති පිරිසක් අපි බලාපොරොත්තු වූ ආකාරයෙන්ම පොහොට්ටුව දිනවන්න කටයුතු කළා. මේ ආණ්ඩුව බලයට ආපු දා ඉඳලම මේ රට අගාධයට යවන්න කටයුතු කළා. බලයට පත්වෙලා අවුරුදු 3ක කාලය තුළ මේ රටට කරපු දේවල්වලට දිට්ඨධම්මවේදනීය කර්ම පඩිසන් දීලා තමයි මේ ආණ්ඩුව පරාජයට පත්වුණේ. මේ ආත්මයේම පලදෙන මහා පාපකර්ම රාශියක් මේ ආණ්ඩුව සිද්ධ කළා. ඒවායේ විපාක තමයි මේ ලැබුණේ.

මේ රට මෛත්‍රිපාල සිරිසේනටවත් රනිල් වික්‍රමසිංහටවත් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. මේ රට විකුණන්නේ නැතුව ජාතිය පාවා දෙන්නේ නැතුව මේ රට ගෙනියන්න පුළුවන්. රට ආරක්ෂා කරන්න පුළුවන් කෙනකුට මේ රට භාර දෙන්න කියන කතිරය තමයි 10 වැනිදා ජනතාව ගහලා තියෙන්නේ.
අපේ මවුබිම සුරැකීමේ සංවිධානයත් පැවිදි හඬ සංවිධානයත් ආණ්ඩුවත් එකම ඉල්ලීමක් කරනවා. ඒ මේ ආණ්ඩුව විසුරුවා හැරලා ජනතා මතයට කන් දීලා මහ මැතිවරණයක් තියන්න කියන එක.

යන්නේ නැත්තම් කනෙන් අල්ලලා ‍ෙදාට්ට දාන්න වුණත් අපි සූදානම් කියලා ආණ්ඩුවට කියනවා. මේ අවුරුද්ද අවසාන වෙන්න කලින් මේ දුර්දාන්ත, දුර්ජන ආණ්ඩුව වහාම අපි ගෙදර යවනවා. දැන් අලුතෙන් පත් වෙන අයටත් අපි කියනවා කබරයො, ගෙම්බෝ වෙන්න එපා. ජනතාව ඔවුන්ව විශ්වාස කරලා ඡන්දය ලබාදුන්නේ. කොන්ත්‍රාත්කාරයන්ගේ පස්සේ යන්නේ නැතුව මේ රට දියුණු කරන්න
පැවිදි හඬ සංවිධානයේ සභාපති ඕමාරේ කස්සප හිමි,

අපි මේ දුර්දාන්ත ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව ලක්ෂ වාරයක් රතන සූත්‍රය පිරිත් කරලා මේ රටේ පෙරේතයො, කුම්භාණ්ඩයො පලවාහැරලා රටට සෙතක් වෙන්න කියන ඒ ආශීර්වාදාත්මක දේශනාව අභයාරාමයෙන් පටන්ගත්තා. ඒ ආශීර්වාදයත් මේ ජයග්‍රහණයට හේතු වුණා කියලා අපි හිතනවා. රටට එරෙහිව ආණ්ඩුව කටයුතු කරනකොට අපි දෙවුන්දර විෂ්ණු දේවාලයේ, උපුල්වන් දේවාලයේ දෙවියන්ට අපි කන්නලව් කරලා කිව්වා මේ රටට වෙලා තියෙන විපත. අපි කන්නලව් කළා දෙවියන්ගේ ආශීර්වාදයත් ලැබුණා මේ ජයග්‍රහණයට.

මහින්ද රාජපක්ෂට කරපු නින්දා අපහාස නිසාම එතුමාට ආශීර්වාදයක් වුණා. මේක තනි පුද්ගලයෙක් හැටියට මහින්ද රාජපක්ෂට ලැබුණු ජයග්‍රහණයක් හැටියට අපි විහ්වාස කරනවා.

මවුබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ලේකම් ගොම්බද්දල දමිත හිමි,
අපි මහින්ද රාජපක්ෂ මහතාට මතක් කරනවා ඔබතුමාගේ ජීවිතයේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරපු කාලය තමයි පසුගිය අවුරුදු 03. ඒ අවුරුදු තුන ඇතුළත ඔබතුමාට අතිශය වැදගත් පාඩම් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඒ පළමුවැනි එක තමයි තමන්ට හිතෛශීි පුද්ගලයන් හඳුනාගැනීමට ලැබීම. තිබුණු වැරැදි හදාගන්න ඔහුට අවස්ථාව උදා වුණා. ඒ අවු. 3 එතුමාගේ ජීවිතය අතිශය පරිණතභාවයට පත්කරපු අවුරුදු 3ක් හැටියට සලකන්න පුළුවන්.

 උදයන්ති මුණසිංහ
ඡායා - සස්සඳ ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon