එජාපයේ ඊනියා පංචවිධ ප්‍රතිපත්තිවලට ජනතාව කතිරයෙන් අනතුරු ඇඟෙව්වා

  👤  3552 readers have read this article !
By mawbima 2018-02-14

එක්සත් ජාතික පක්ෂය ආර්ථිකය හැසිරවීමට යොදාගත් පළිගැනීම, බොරුකීම, විකිණීම, දූෂණය හා බදු ගැසීම යන පංචවිධ ප්‍රතිපත්ති හේතුවෙන් දැඩි පීඩනයකට ලක්ව සිටි රටේ ජනතාව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මඟින් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ආණ්ඩුව අවුරුදු තුනක කාලයක් වැරැදි ලෙස ආර්ථිකය කළමනාකරණය කිරීමෙන් සහ බොරුව සමාජගගත කිරීමට කටයුතු කිරීමෙන් මේ වසරේ ශ්‍රී ලංකාව දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්වන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඊයේ (13දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
ආර්ථිකය කළමනාකරණය සම්පූර්ණයෙන්ම තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, මුදල් ඇමැතිවරයා ලෙස රවි කරුණානායක මහතාත් බැංකු ක්‍රමය භාර ඇමැතිවරයා ලෙස කබීර් හෂීම් මහතා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස මලික් සමරවික්‍රම මහතාත් අතේ. ඔවුන් පංචවිධ ප්‍රතිපත්තියක් යටතේ තමයි ආර්ථිකය හසුරුවන්න ගියේ. ඒ පංචවිධ ප්‍රතිපත්ති තමයි පළිගැනීම, බොරුකීම, විකිණීම, දූෂණය හා බදු ගැසීම.

සාමාන්‍යයෙන් රටක ආර්ථික යාන්ත්‍රණය හසුරුවන්නේ පෞද්ගලික අංශය. මොනම ආණ්ඩුවක්වත් පෞද්ගලික අංශයෙන් පළිගන්න ගියේ නැහැ. මේ ආණ්ඩුව තමයි පෞද්ගලික අංශයේ සේවකයන්ට එළව එළවා පහරදුන්නේ. පෞද්ගලික අංශයේ සේවකයන්, ව්‍යාපාරිකයන් සියලුදෙනාම හොරු, වංචාකාරයෝ, අයථා ලෙස මුදල් හම්බ කළ අය කියලා හංවඩු ගැහුවා. අය වැය ගේනවිටම සුපිරි වාසි බද්ධ කියලා එකක් ගෙනාවා. මේකෙන් රුපියල් බිලියන 50ක් ආණ්ඩුව පික්පොකට් ගැහුවා. බිලියන 50ක් කියන්නේ මත්තල ගුවන්තොටුපළ වගේ දෙකක් හදන්න පුළුවන් මුදලක්. පෞද්ගලික අංශයේ විශාල නිවාසවල ඉන්න ව්‍යාපාරිකයන්ගෙන් පළිගන්න හිතලා තවත් බද්ධක් ගෙනාවා. නමුත් එය ක්‍රියාත්මක කරගන්න බැරිවුණා.

පෝර්ට් සිටි සම්පූර්ණයෙන්ම නතර කළා. නෙලුම් කුලුන හදන එක නැවැත්තුවා. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය කැඩුවා. චීන විරෝධය නිසා චීන අයෝජකයන්ගෙනුත් පළිගත්තා. බදු ගැනීමේදී දේශීය ආදායම් පනත සම්පූර්ණයෙන්ම රටේ මිනිසුන්ට බලපාන ආකාරයට සියලුම බදු සහන ඉවත් කළා. කවදාවත් අය නොකරපු ආකාරයට වැට් අය කළා. කොටි ගහලත් පිටකොටුවේ වෙළෙඳසල් වැහුවේ නැහැ. හැබැයි මේ වැට් වැඩිකිරීම නිසා පිටකොටුවේ වෙළෙඳසල් වැහුවා. ආණ්ඩුවට ඒත් තේරුණේ නැහැ.

නමුත් දිගින් දිගටම කිව්වේ මහින්ද රාජපක්ෂ යුගයේදී ගත් ණය කන්ද නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙන බවයි. මීතොටමුල්ලේ කුණු කන්දට වඩා විශාලයි කිව්වා මහින්ද රාජපක්ෂ යුගයේ ගත් ණය කන්ද. එය පට්ටපල් බොරුවක්. මේ බොරුව සමාජගත කරන්න බැරිම තැන ඡන්දය අවාසිදායක වන ලෙස රජයේ විගණකාධිපතිවරයා දාලත් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වුවා.

අවුරුදු තුනක් තිස්සේ වැරැදි ලෙස ආර්ථිකය කළමනාකරණය කරලා එහි වරද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පැටවීමට යෑමෙන් මේ වසරේ දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්වෙන්න සිදුවෙනවා. අපි කාටවත් මේ රට බේරගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙනවා. අගමැතිතුමා, පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව මේකට පැටලිලා තිබෙනවා. ලෝකය ඉදිරියේ අපි නිරුවත් වෙලා තිබෙනවා. බොරුව සමාජගත කිරීමට යෑම තුළ දැවැන්ත මූල්‍ය අර්බුදයකට රට මුහුණ දීලා තිබෙනවා.
උපනූපන් පරම්පරාවලට අයිති වෙන්න තිබෙන ජාතික සම්පත් විකිණීම දිගින් දිගටම කරගෙන යනවා. එය කොතරම් දරුණුවට කරනවාද කිව්වොත් මැතිවරණය කිට්ටුව දැන්වීමකුත් පළ කළා බැංකු බේරාගැනීම සඳහා මැදිහත් විය යුතුයි කියලා. දූෂණය ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද මුදල් නෝට්ටු අච්චු ගහන ස්ථානයේ සමස්ත මුදල් ණය හා බැංකු ක්‍රමය හසුරුවන මහ බැංකුව මහ දවල් කොල්ලකාලා කළ දූෂණය තරම් දෙයක් මීට පෙර සිදුවෙලා නැහැ.

මේ සියල්ල විඳ දරාගෙන සිටි සාමාන්‍ය ජනතාව ලබාදුන් අවසාන ප්‍රතිඵලය තමයි පළාත් පාලන මැතිවරණයේදී ලංකා ඉතිහාසයේ කිසිදාක නොවූ ආකාරයෙන් දැන් ගෙදර යන්න කියන පණිවුඩය ආණ්ඩුවට ලබාදෙමින් පොදුජන පෙරමුණට කතිරය ගැසීම. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පොල් පිත්තක් දාලා ඡන්දෙ දෙන්න කිව්වත් ඡන්දෙ දෙන්න සූදානම් පිරිසක් මේ රටේ ඉන්නවා.
මහරගම වගේ ආයතනවල මෝටර් බයිසිකලේට ඡන්දය දුන්නේ සුදුද කළුද කියලාවත් බලන්නේ නැතිව. අවුරුද්දයි මාස 6ක පොහොට්ටුවට ජනතාව විසින් විස්මිත ඓතිහාසික තීන්දුවක් ලබාදීලා තිබෙනවා. මේ නිසා දේශපාලන ලෝකයේ කම්පනයක් ඇතිවෙලා තිබෙනවා. ඡන්දයට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා එජාපය විසින් ආර්ථිකය විනාශ කළ බව. ඒ නිසා 10 වැනිදායින් පසුව ආර්ථික කළමනාකරණය භාරගන්නා බව. දැන් කියනවා එජාපය වෙනම ගිහින් ආණ්ඩු හදන බව. වෙනම ගියොත් මේ තියෙන ටික පමණක් නෙවෙයි සංස්කෘතික හර පද්ධතීන් පවා විනාශ වෙනවා. සංස්කෘතික අපගමනයක් සිදුවන අයුරින් ගැසට් නිවේදන පවා ඉදිරිපත් කළා. කාන්තාවන්ට සුරාසල්වලින් මත්පැන් ගන්නත් සුරසල්වල වැඩ කරන්නත් හැකිවන පරිදි ගැසට් නිවේදනයක් ඉදිරිපත් කළා. ලාල් විජේනායක කමිටුව විසින් සමලිංගිකයන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඉඩ ලබාදීමට කටයුතු කළා. මහා ආගාධයකට මේ රට ඇදගෙන යෑම ගැන වටහාගත් පොදු ජනතාව එම වැඩපිළිවෙළ වෙනස් කරගැනීම සඳහා ආණ්ඩුවට රතු එළියක් පත්තු කළා. ඒ අනුව ආණ්ඩුවට අන්ත පරාජයක් මහජනතාව ලබාදුන්නේ මේ කරන විනාශය නවත්වන්න කියලයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි
අපි මේ ආණ්ඩුව ගැන කියපු කරුණු වලට ජනතාවගේ පීඩනය මුදාහරින ලැබුණු අවස්ථාවේ ඔවුන්ගේ ජනමතය ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අපි මේ ආණ්ඩුව ගැන කියපු කතා සනාථ වුණා. දැන් ආණ්ඩුවට ජන බලයක් නැහැ. ආණ්ඩුව ස්ථාවරත් නැහැ. ස්ථාවර නැති ආණ්ඩුවක් තුළ රටේ ආර්ථිකයත් ස්ථාවර නැහැ. තවදුරටත් ආණ්ඩුවට ඉදිරියට යෑමට නොහැකි බවට ජනතාව අනතුරු අහවලා තිබෙනවා.

ඉෂාරා සිල්වා
ඡායාරූප - තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon