ශ්‍රී ලනිපය ඉවත් වුණොත් විපක්ෂ නායකකම අපට ඕනෑ

  👤  4164 readers have read this article !
By mawbima 2018-02-14

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය අනිවාර්යයෙන්ම තමන්ට හිමිවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයකු 'මව්බිම' ට ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන ලෙස කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 54 දෙනකු සිටින ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබා නොදී ඩුප්ලිකේට් විපක්ෂයට එම තනතුරු ලබාදීමට වත්මන් යහපාලන ආණ්ඩුව ක්‍රියා කළ බවද එම ජේ‍යෂ්ඨ නියෝජිතයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කොටස්කරුවකු ලෙස පවසමින් ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේදී දිය යුතු සාධාරණ නියෝජනය ලබාදීමට ආණ්ඩුව ක්‍රියා නොකළ බවත් එම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වූ විට එම තර්කය බිඳ වැටෙන බවත් ඒකාබද්ධ විපක්ෂයේ එම නියෝජිතයා පෙන්වා දෙයි.
2015 සිට වසර 3ක්ම රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නියම භූමිකාව සිදුකරන්නේ ඒකාබද්ධ විපක්ෂය නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඩුප්ලිකේට් විපක්ෂයෙන් ඉවත් කර කඩිනමින් ඒකාබද්ධ විපක්ෂයට ලබාදිය යුතු බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ එම ජේ‍යෂ්ඨ නියෝජිතයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon