අර්බුදය දුරදිග යයි

  👤  5369 readers have read this article !
By mawbima 2018-02-14

එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටු වන ලෙසට එජාපයේ මැති ඇමැතිවරුන් බහුතරයේ එකඟත්වය පළවී ඇතැයි වාර්තා වේ.
ඊයේ අරලියගහ මන්දිරයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් පක්ෂය තුළ යම් යම් වෙනස්කම් කරමින් තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව සෘජුව යෝජනා කළැයි එම සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රිවරු පිරිසක් 'මව්බිම' පැවැසූහ.

එජාප තනි ආණ්ඩුවක් ඉල්ලා පක්ෂ නායකයාට බල කළ එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් වූයේ කාවින්ද ජයවර්ධන, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, තුෂාර ඉඳුනිල්, හෙක්ටර් අප්පුහාමි, විජයපාල හෙට්ටිආරච්චි, නලින් බණ්ඩාර, ජේ.සී. අලවතුවල, නාලක කොළොන්නේ, සන්දිත් සමරසිංහ යන මහත්වරුන්ය.

ඔවුන් පැවැසුවේ මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව අවධානය යොමුකර ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිදු කළයුතු වෙනස්කම් ගැන පක්ෂ නායකයා දැනුවත් කළ බවයි. තනි ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කළ යෝජනාවට රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස අවධානය යොමු කළ බවද ඒ මන්ත්‍රි පිරිස පැවසූහ.
මේ අතර එජාප කැබිනට්, නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් පෙරේදා (12දා) අගමැතිවරයා හමුවේ එ.ජා.ප තනි ආණ්ඩුවකට යා යුතු බව දැඩිව ප්‍රකාශ කර තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට එ.ජා.ප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එකඟ වී ඇති බවත් බොහෝ දුරට ඊයේ රාත්‍රි, වික්‍රමසිංහ මහතා ප්‍රධාන එජාප ඇමැතිවරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබූ සාකච්ඡාවේදී මේ තීරණය ජනාධිපතිවරයාට දැනුම්දීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මේ සියල්ල අතරතුර කතානායක කරු ජයසූරිය මහතා අන්තර් අගමැති ලෙස පත්කිරීමට යන බවටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිහිටුවීමට යන එ.ජා.ප. තනි ආණ්ඩුවට ශ්‍රී .ල.නි. පක්ෂයේ ඇමැතිවරුන් දහදෙනකු එකතු වන බවටත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් නොකළහොත් ශ්‍රී .ල.නි.පයේ බහුතර ඇමැතිවරුන්, පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයෙන් අසුන් ගන්නා බවටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිර්පාක්ෂික වන බවටත් පසුගිය දින දෙක තුළ දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි පැතිර ගොස් තිබිණි.

මේ අතර ඊයේ පස්වරුවේ ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවැත්වූ සාකච්ඡාවකදීද දැනට රජය මුහුණ දී ඇති අර්බුදයට එකම විසඳුම වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ තනි රජයක් ස්ථාපිත කිරීම බවට අවධාරණය කර ඇතැයිද වාර්තා වේ.

එජාප නායකත්වයේ වෙනසක් විය යුතු බවට ඇතැමුන් අදහස් පළ කළද, පක්ෂයේ ක්‍රියාකාරීත්වය පදනම් වන්නේ එක් එක් පුද්ගලයන්ට හෝ පක්ෂවල අවශ්‍යතා මත නොව පක්ෂයේ තීන්දු තීරණ මත බවද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙන බවද දැනගන්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon