ලීග් රග්බි කිරුළ යළිත් උඩරටට

  👤  3264 readers have read this article !
By mawbima 2018-02-13

අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව යළිත් වරක් දිනාගන්නට මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් වූයේ මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙසය.

ඒ අනුව අන්තර් සමාජ රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ අවසන් තරගය ලෙස පසුගිය ඉරිදා (11දා) පැවැති මහනුවර ක්‍රීඩා සමාජය හා හැව්ලොක්ස් කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 30-28ක් ලෙස ජය ගන්නට ගයාන් වීරරත්නගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම සමත් වූ අතර එම තරගය මහනුවර කණ්ඩායමේ හිටපු නායක ෆසිල් මරිජාගේ අවසන් ලීග් රග්බි තරගය වීමද විශේෂත්වයකි. එනම් ඉදිරි සතියේදී ඇරැඹෙන ක්ල්ෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය මරිජා අවසන් වරට ක්‍රීඩා කරන රග්බි තරගාවලිය ලෙස හැඳින්වෙන අතර ඔහු ජාත්‍යන්තර රග්බි පිටියෙන් සමුගැනීම මීට පෙර ප්‍රකාශයට පත් කර තිබිණි.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ අනුශූරයන් ලෙස නම සටහන් කරගන්නට ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සමත් වූයේ තරග 14කින් තරග 9ක් ජයග්‍රහණය කිරීමෙනි. ඔවුන්ගේ 9 වැනි ජයග්‍රහණය පසුගිය සති අන්තයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමට එරෙහිව වාර්තා කළ අතර එහිදී නැවියෝ ජය සටහන් කළේ ලකුණු 50-28ක් ලෙසය. තවද මෙවර තරග වාරයේදී තරග 14කට සහභාගි වී ඉන් තරග 8ක් ජයගත් හැව්ලොක්ස් කණ්ඩායම තෙවැනි ස්ථානයට පත්වූ අතර පසුගිය වසරේ ලීග් රග්බි තරගාවලියේදී ලකුණු සටහනේ පහළ අඩියේම සිටි සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම මෙවර තරග 14ක් අතරින් තරග 8ක් ජයගෙන සිවුවැන්නා ලෙස තරගාවලිය නිම කිරීමෙන් මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්විය.

සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම එසේ සිවුවැනි තැනට පත්වූයේ පසුගිය සිකුරාදා (9දා) පැවැති තරගයේදී ලකුණු 25-24ක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම පරාජය කරමිනි. ඒ අනුව සී.ආර්. කණ්ඩායම ලකුණු සටහනේ 5 වැනි තැනට පත්වූ අතර 6 වැනි ස්ථානයට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට පැමිණීමට හැකියාව ලැබුණේ පසුගිය සිකුරාදා පැවැති තරගයෙන් ලකුණු 43-36ක් ලෙස පොලිස් කණ්ඩායම පරාජයට පත්කළ නිසාය. ඒ අනුව ලකුණු සටහනේ 7 වැනි 8 වැනි ස්ථාන දක්වා පහත වැටීමට පිළිවෙළින් පොලිස් කණ්ඩායමට හා ගුවන් හමුදා කණ්ඩායමට සිදුවිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon