ආසියානු ක්‍රීඩා උළෙලේ පෙරහුරු තරගාවලියේදී සුරංජය හා ධනංජයගෙන් රන් පදක්කම් දෙකක්

  👤  3105 readers have read this article !
By mawbima 2018-02-13

විචිත්‍ර වීරසිංහ

අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා ඉන්දුනීසියාවේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට පෙරහුරුවක් ලෙස ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී මේ දිනවල පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසන් වනවිට රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට සමත්ව ඇත.

ඒ අනුව මීටර් 100 (පිරිමි) මූලික තරගයේදී තත්. 10.28ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගයට පිවිසි විනෝජ් සුරංජය ද සිල්වා එහිදී තත්. 10.30ක කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනාගනිද්දී මූලික තරගයේදී විනෝජ් අභිභවා ගිය ඉන්දුනීසියාවේ සොහිරි ලූලා තත්. 10.32ක කාලයක් සටහන් කරමින් රිදී පදක්කම දිනාගත්තේය.

ශ්‍රී ලංකාව දිනූ අනෙක් රන් පදක්කමේ අයිතිය මීටර් 400 පිරිමි ඉසව්වේදී තත්. 46.83ක කාලයක් සටහන් කළ තරුෂ ධනංජයට හිමිවෙද්දී එම ඉසව්වේ ලෝකඩ පදක්කම තත්. 46.97ක දක්‍ෂතාවක් දැක්වූ දිලිප් රුවන්ට හිමිව තිබීමද විශේෂත්වයකි.
මේ අතර ඊයේ පැවැති මීටර් 1500 කාන්තා ඉසව්වේදී විනාඩි 4:19:25ක කාලයක් සටහන් කළ නිලානි රත්නායක තවත් රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙද්දී එහි රන් පදක්කම හිමිවූයේ වි:4:18:74කින් අවසන් කළ ඉන්දියාවේ චිත්‍රා උන්නික්‍රිෂ්නන්ටය.

ඊයේ පැවැති පිරිමි දුර පැනීම ඉසව්වේදී මීටර් 7.82 පිම්මක් සටහන් කළ ජනක විමලසිරි ලෝකඩ පදක්කමක් දිනාගත් අතර එහි රන් පදක්කම මීටර් 7.96ක දක්‍ෂතාවක් පෙන්වූ ෂෑන් යොවගන්ටත්, මීටර් 7.89ක දුරක් සටහන් කළ චීන තායිපේ කණ්ඩායමේ ලින් හුන්-මින්ට රිදී පදක්කමත් හිමිවිය.
කෙසේ වෙතත් 2016 වසරේදී ආරක්ෂක සේවා ශූරතාවලියේදී මීටර් 8.15ක දුරක් සටහන් කරමින් දුර පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් තබා තිබූ අමිල ජයසිරිට හිමිවූයේ 10 වැනි ස්ථානයයි. එහිදී ඔහුගේ පළමු වැනි හා දෙවැනි උත්සාහයන් අසාර්ථක වූ අතර, තෙවැනි උත්සාහයේදී මීටර් 7.22ක දක්‍ෂතාවක් පෙන්වීය.
තවද ඊයේ පැවැති දස ප්‍රයාම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් දිනාදීමට අජිත් කරුණාතිලක සමත්වූ විය. ඊයේ පැවැති එම ඉසව්වට අදාළව පැවැති මීටර් 100 තරගයේදී ආරම්භක සංඥාව නිසි පරිදි ශ්‍රවණය කිරීමට නොහැකිවීම හේතුවෙන් ඒ සඳහා තත්. 14.37ක කාලයක් ඔහුට වැය වී තිබූ අතර, එසේ බාධාවක් නොවන්නට ඔහුට හොඳ කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනාගැනීමට අවස්ථාව තිබිණි.

පෙරේදා පැවැති තරගවලදී මීටර් 400 කාන්තා ඉසව්ව තත්. 54.89ක කාලයකදී අවසන් කළ උපමාලිකා රත්නකුමාරිට ලෝකඩ පදක්කමක් හිමිව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon