ජනාධිපතිවරණයේදී මහින්දට ලැබුණු ඡන්ද මේ වාරේ පොහොට්ටුවට ලැබී නැහැ

  👤  3630 readers have read this article !
By mawbima 2018-02-13

යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 8 වැනිදා ජනපතිවරණයේදී ලැබුණු ජනවරම පළාත් පාලන ඡන්දයේදී තවත් ශක්තිමත් වී තිබෙන බැවින් අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව රජයේ සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න පවසයි.

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇත්තේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 45කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බව පවසන ඇමැතිවරයා එය ජනවාරි 08 වැනිදා ජනපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බවත් ඇමැතිවරයා කියයි.
එම ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාවේ බහුතර ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිත කර ඇත්තේ පොහොට්ටුව ලකුණින් තරග කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පළාත් පාලන ඡන්දය ජයගෙන අගමැති වීමට හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට හිටපු ජනාධිපතිවරයා සිහිනයක සිටියද එය ඉටුවන්නේ නැතැයිද රජයේ සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කරයි.

හිටපු ජනපතිවරයාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය හෝ මෙතෙක් යෝජනා කර නැතැයිද ඇමැතිවරයා කියයි.
පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලය පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් දෙදෙනා සමඟ මා සාකච්ඡා කළා. ආණ්ඩුවේ අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යෑමට ඔවුන් දෙදෙනාම කැමැත්ත පළකළා." යැයිද ඇමැතිවරයා පැවැසීය.
2015 වසරේ වත්මන් ආණ්ඩුවට ජනවරම ලබාදී ඇත්තේ දූෂණය සහ වංචාව පිටුදැකීමටයි. එය අඛණ්ඩව ඉදිරියට සිදු කිරීමට යහපාලන රජයේ නායකයන් එකඟත්ව ට පැමිණ තිබෙනවා" යැයිද ඇමැතිවරයා කීය.

ඒකාබද්ධ විපක්ෂයේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා තමා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වූ ඇමැතිවරයා මෙසේ පැවැසුවේය.
බේරුවල ආසනයේ පරාජයත් සමඟ මා සොයා ගැනීමට නොහැකි බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා වගේ මා ඇමෙරිකාවට පැනලා ගියේ නැහැ. නිවෙසේ සිටිනවා. ජනවරමට අනුව අපේක්ෂා ඉටුකිරීමේ සටනේ තවදුරටත් රැඳී සිටිනවා. එමෙන්ම 2020න් පසු ජනාධිපතිවරයා යළි පත්කිරීමටද කටයුතු කරනවා."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon