බහුතර ජන බලයක් නැති රනිල්-මෛත්‍රි ලජ්ජාවක් තිබේ නම් ඉල්ලා අස්විය යුතුයි

  👤  3429 readers have read this article !
By mawbima 2018-02-13

ජනාධිපති - අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට තවදුරටත් බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි යන පණිවුඩය පොහොට්ටුව ඉදිරියේ කතිරය ගැසූ ලක්‍ෂ 50ක පමණ ඡන්දවලින් තහවුරු වූ බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග පැවැසීය.
රටේ ජනතාවගේ බහුතර බලයක් නොමැති මෛත්‍රි - රනිල් යුවළ දැන් ඉල්ලා අස්විය යුතු බව පැවැසූ රණතුංග මහතා යහපාලන ආණ්ඩුවේ අවසන් හුස්ම පොදත් මේ පළාත් පාලන මැතිවරණයෙන් පසු වාතලයට මුසුවූ බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මේ අදහස් පළ කළේ පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ මිනුවන්ගොඩ නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ අපේක්‍ෂකයන් සමඟ ඊයේ (12දා) මිනුවන්ගොඩ නගරයේදී පැවැති හමුවක් අමතමිනි.
මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.

"ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය මුළුමනින්ම වෙනස් කරපු සුවිශේෂී මැතිවරණ ප්‍රතිඵලයක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ප්‍රකාශයට පත් වුණා. අපි ප්‍රථමයෙන්ම මේ රටේ දේශප්‍රේමී ජනතාවට මෙවැනි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා.
මේ ජයග්‍රහණය වඩාත් සුවිශේෂී එකක් වන්නේ මේ රටේ ප්‍රධානතම දේශපාලන පක්‍ෂ දෙකම එක ආණ්ඩුවක සිටිමින් පූර්ණ ලෙසම ආණ්ඩු බලය මැතිවරණයට යෙද වූ අවස්ථාවක අලුතෙන් බිහි වූ පක්‍ෂයක් වශයෙන් මේ ඓතිහාසික ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වීම නිසයි.

මේ මැතිවරණයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට ප්‍රබල පණිවුඩයක් ලබාදී තිබෙනවා. ලක්‍ෂ පනහක පමණ ඡන්ද දායකයන් පිරිසක් තමන්ගේ ඡන්දය පොහොට්ටුව ඉදිරියේ සටහන් කරලා මේ ආණ්ඩුවට දැනුම් දී තිබෙන්නේ දැන්වත් ගෙදර යමල්ලා කියන පණිවුඩයයි.
රටේ බහුතර ජනතා කැමැත්තක් නැති මේ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට දැන් රට පාලනය කිරීමට සදාචාරාත්මක අයිතියක් නැහැ. ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලා හෝ තියෙනවා නම් මේ දෙන්නා දැන් තමන්ගේ ධුරවලින් ඉවත් වෙලා ජනමතයට ගරු කළ යුතුයි කියලා අපි කියනවා.

ජනාධිපතිවරයා රට පාලනය කළාට මේ රටේ මිනිසුන්ගේ හදවතේ ඉන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බව මේ මැතිවරණයෙන් පැහැදිලි වෙලා ඉවරයි. යුද්ධය නිමා කරලා රට සංවර්ධන කරා ගෙනගිය ජාතියේ නියමුවා වශයෙන් මහින්ද මැතිතුමාගේ නායකත්වය රටම ඉල්ලා සිටින බවට තවත් සාක්‍ෂි අවශ්‍ය නැහැ.
මේ මැතිවරණයේදී පොහොට්ටුවට කතිරය ගහපු ඒ දේශප්‍රේමී මිනිසුන් එක්සත් ජාතික පක්‍ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඒ තමයි රට පාවාදෙන ඕනෑම කෙනකු ගෙදර යැවීමට ජනතාව සූදානම් කියන අනතුරු ඇඟවීම. ජනතාව එම පක්‍ෂ දෙකට දීලා තියෙනවා.
ජාතික සම්පත් විකුණමින්, රණවිරුවන් පාවා දෙමින්, ජාතික ආර්ථිකය විනාශ කරමින් මේ යහපාලන ආණ්ඩුව යන ගමන පරාජය කිරීම සඳහා අපි ගෙනගිය අරගලය අද ජනතාව විසින් ජයග්‍රහණය කරවා තිබෙනවා. මේ අවුරුදු තුන තුළ අපි දරපු වෙහෙස මහන්සියේ ප්‍රතිඵල අද ලැබිලා තිබෙනවා.

දැන් ජනතාව අප වෙත භාරදී තිබෙන වගකීම අපි ඉතාමත් බැති සිතින් ඉෂ්ට කරන්න සූදානම්. එදා මෙදාතුර ලංකාවේ ආණ්ඩු කරපු ප්‍රධාන පක්‍ෂ දෙකම ප්‍රතික්‍ෂේප කරලා ජනතාව පොහොට්ටුවට මේ වගකීම පැවරුවේ ලොකු විශ්වාසයකින්. ඒ විශ්වාසය සුරැකීමට අපි දිවි හිමියෙන් කැප වෙනවා.

ලංකාවේ පළාත් පාලන ආයතන 329ක බලය අප වෙත ලැබී තිබෙනවා. ඒ පළාත් පාලන ආයතන සියල්ලේම ඉදිරි කටයුතු අපි මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුක්තව අධීක්‍ෂණය කරමින් අපට ලැබුණු ජනවරම අර්ථවත් කරන්නට කැපවන බවට මම ජනතාව ඉදිරියේදී අද පොරොන්දු වෙනවා. මේක ඓතිහාසික ජනවරමක්. මේ ජනවරම මෙතැනින් ඉදිරියට ගෙනගොස් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් හැදීම තමයි අපගේ අරමුණ. මේ දේශද්‍රෝහී ආණ්ඩුව එළවා දමා ජනතාවාදී ආණ්ඩුවක් හදනතුරු අපගේ ගමන නතර කරන්නේ නෑ".

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon