‘ජනවාරි 8’ ගැන කලකිරීමක් තිබෙනවා නම් ජනතාව එකතු වෙන්න ඕනෑ ජවිපෙ එක්කයි

  👤  3150 readers have read this article !
By mawbima 2018-02-13

ජනවාරි 8 තමන්ට වැරැදුණු බව පිළිගෙන ඒ වැරැද්ද නිවැරැදි කිරීම ජනතාව මෙවර සිදු කළ බවත් මේ පණිවුඩය ආණ්ඩුවේ නායකයන්ට නිවැරැදිව තේරුම් ගන්න බැරි වුවොත්, ඔවුන්ට කන පැළෙන ප්‍රහාරයක් ජනතාවගෙන් ඉදිරියේදී එල්ලවීමට ඉඩ තිබෙන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.

හෙතෙම මෙසේ කියා සිටියේ ඊයේ (12දා) පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

අපි මැතිවරණ වේදිකාව පුරාම දිගින් දිගටම කිව්වා ජනාධිපතිතුමාගෙයි අගමැතිතුමාගෙයි තියෙන්නේ රංගනයක්. මේක ඡන්දය තෙක් අපි තරහයි චිත්‍රපටයයි ජනපතියි අගමැතියි රඟපාන්නේ. මේකට රැවටෙන්න එපා කියලා. ජනතාව අපිව විශ්වාස කළා. අවාසනාවට ටික දෙනෙක් මේ රඟපෑමට රැවටුණා. ඡන්ද ප්‍රතිඵල පිටත් වෙන්නත් කලින් අගමැතිතුමා ජනාධිපතිතුමාව හමුවෙලා රණ්ඩු වෙලා ඉවරයි කියලා කරට අතදාලා කිරි බත් කාලා, 2020 තෙක් එකට යනවා කියලා තීන්දුවක් අරගෙන තියෙනවා. අපි කිව්ව ආකාරයටම ජනාධිපතියි අගමැතියි කළේ රඟපෑමක්. අගමැතිතුමා ඇහුවලු ජනපතිතුමනි, කඩුවෙන් මා කැපේවිදෝ කියලා. එතකොට ජනපති කිව්වලු නාඩන් මල්ලි නාඩන් මා විහිළු කළා කියලා.

මේ නාට්‍යයට රැවටුණු සුළු පිරිසක් ඉන්නවා කියලා කනගාටුවෙන් සිහිපත් කරනවා. හැබැයි අපි යෝජනා කරනවා ජනාධිපතිතුමාට හොඳම නළුවා සම්මානයත්, අගමැතිතුමාට හොඳම සහාය නළුවා සම්මානයත් ලබාදිය යුතුයි කියලා. ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට රංගනයක් ඔවුන් ඉදිරිපත් කළේ.
පා.ච. රණවක ඇමැතිතුමත්, රාජිත සේනාරත්න ඇමැතිතුමත්, එන්.ජී.ඕ. නඩයත් පුන පුනා කියනවා ජනවාරි 8 ජනවරමට ආණ්ඩුව පිටු පෑ නිසා ආණ්ඩුවට දඬුවම් කළ යුතුයි යන පණිවුඩය තමයි මැතිවරණ ප්‍රතිඵලවලින් දී තිබෙන්නේ කියලා. ඒක පට්ටපල් බොරුවක්. එවැනි අතාර්කික, අමනෝඥ මැතිවරණ ප්‍රතිඵල විග්‍රහයක් මම දැක්කමයි.

ජනතාව 2015 ජනවාරි 8 ජනවරම ක්‍රියාත්මක කිරීම ගැන කලකිරීමක් තියෙනවා නම් ඒ අය එකතු වෙන්න ඕන පොහොට්ටුව වටා නෙවෙයි. ඒ ජනවරම වෙනුවෙන් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ වටා. ජවිපෙ ප්‍රකෝටි ගණනක් ධනය වැය කරමින් පුළුල් ප්‍රචාරයක් ගෙනයද්දී ජනවාරි 8 ජනවරමට පෙනී සිටින අතරේ එයට පයින් ගහලා ජනවාරි 8 ජනවරමට එරෙහිව කටයුතු කළ අපේ පොහොට්ටුව ජනතාව තෝරගෙන තියෙනවා. ඒ කියන්නේ ජනතාව කියන්නේ ජනවාරි 8 අපි රැවටුණා කියලා.
ජනවාරි 8 ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට පොරොන්දු වෙද්දී ජනතාව හිතුවේ ජාතික, රාජ්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය සවිමත් කරන ව්‍යවස්ථාවක් එනවා කියලා. හැබැයි ආවේ රට කෑලි නවයකට කඩන ෆෙඩරල් ව්‍යවස්ථාවක්. ඒ නිසා ෆෙඩරල් ව්‍යවස්ථාව අපට එපා කියන්නයි ජනතාව පොහොට්ටුව වටා රොක් වුණේ.

ජනාධිපතිවරණයේදී ඒ අය රැකියා දස ලක්ෂයක් බිහි කරනවා කියද්දී ලංකාවේ අයට රස්සා දෙනවා කියලයි හිතුවේ. හැබැයි පසුගිය වසර තුනේදී පෙනුණා ආණ්ඩුව උත්සාහ කරන්නේ ලංකාවේ අයට රැකියා දෙනවා වෙනුවට ඉන්දියාවේ අයට රැකියා දස ලක්ෂයක් ලබාදීම සඳහා එක්ටා ගිවිසුම අස්සන් කිරීම කියලා. එක්ටා ගිවිසුම අපට එපා කියන එකයි ජනතාව මෙහිදී කියලා තියෙන්නේ.

ඒ වගේම විදේශ ආයෝජකයෝ වැඩි වැඩියෙන් ගේනවා කිව්වා. ජනතාව හිතුවේ විදේශ ආයෝජකයෝ ඇවිත් අපේ රටේ අලුතින් සම්පත් ඉදිකරාවි කියලා. නමුත් ඒ වෙනුවට සිදු වුණේ තිබෙන සම්පත් නොරටුන්ට විකිණීම හරහා විදේශ ආයෝජන රට තුළට ගෙන ඒම. ජාතික සම්පත් නොරටුන්ට විකුණන්න එපා කියන පණිවුඩයයි ජනතාව මේ මැතිවරණයේදී දී තිබෙන්නේ.

'මේ රටේ උරුමක්කාරයන් වුණු නිහඬ බහුතරය වූ සිංහල ජනතාව මේ මැතිවරණයේදී සුවිශේෂී ආකාරයෙන් ක්‍රියාත්මක වී තිබෙනවා. මේ ආණ්ඩුව වගේම පසුගිය ආණ්ඩුව දෙමළ ජනතාව ගැන, මුස්ලිම් ජනතාව ගැන සංවේදියි. දෙමළ ජනතාවගේ සාතිශය බහුතරය ගොනුවෙලා ඉන්නේ දෙමළ ජාතික සන්ධානය වටා. මුස්ලිම් ජනතාවගේ සාතිශය බහුතරය ගොනුවෙලා ඉන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වටා. සිංහල බහුතරය කැපුවත් නිල්, කොළ, රතු කියමින් පක්ෂ දේශපාලනය, ජාතික දේශපාලනයට උඩින් තියාගෙන ඉන්නේ.

හැබැයි මෙවර සිංහල බහුතරය සිටින සෑම ප්‍රදේශයකම මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරමින්, තමන්ව රිදවූ ආණ්ඩුව රිදවන්න, සිංහලයා කටයුතු කර තිබෙනවා. සුවිශේෂී ස්ථාන හතරක සුවිශේෂී හේතු මත සිංහල බහුතරයේ කිහිපයක් ආණ්ඩුව ජයග්‍රහණය කර තිබෙනවා. සිංහල බහුතරය අන් සෑම තැනකම ආණ්ඩුව ප්‍රතික්ෂේප වී තිබෙනවා. සිංහලයා ප්‍රථම වතාවට පක්ෂවලට උඩින් ජාතිය, මවුබිම තබා තිබෙනවා. මේක සිංහල ජාතික දේශපාලනය ගමන් මඟට අතිශය සුබ ලකුණක්.
මේ ආණ්ඩුව වගේම අනාගත ආණ්ඩුවත් සිංහලයාව රිදවන්න කටයුතු කළොත් සිංහල අභිලාෂයන් නොසලකා ඉන්න කටයුතු කළොත් ඒ ආණ්ඩුවට වරදින බව සිංහලයා මෙවර රටට විතරක් නෙවෙයි ලෝකයටම කියා පා තිබෙනවා.

මේ මැතිවරණ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂව විකුණා ලබාගත්ත ජයග්‍රහණයක් කියා සමහරු කියනවා. එය පිළිගන්නේ දැයි ඇසූ ප්‍රශ්නයට මන්ත්‍රිවරයා පිළිතුරු දුන්නේ මෙසේය.

'මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනප්‍රිය වෙන්නේ බෙදුම්වාදී බලවේගවලින් රට බේරා ගත්තා. ජාත්‍යන්තර බලවේග ඉදිරියේ ජාතියේ ස්වාධීනත්වය රැක්කා. ලංකා ඉතිහාසයේ වැඩිම යටිතල පහසුකම් සංවර්ධනය කළා. ආර්ථික වර්ධනයට අඩිතාලම දැම්මා.
දුප්පත්කම සියයට හය දක්වා පහතට ගෙනත් ප්‍රශස්තම සුබසාධන රාජ්‍ය බිහි කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා සංකේතවත් කළ ගුණාංග තියෙනවා. ඒ ගුණාංග ඉල්ලීම තමයි මහින්ද රාජපක්ෂ ඉල්ලීමේ මූලිකත්වය. අවුරුදු නවයක් රට පාලනය කරලා සුවිශේෂී ලක්ෂණ ප්‍රදර්ශනය කළ නායකයාටයි මිනිස්සු ආදරය කරන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් වුණොත් ජනාධිපතිතුමාට ඊළඟ විකල්පය කුමක් විය හැකිද යනුවෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයටද මන්ත්‍රිවරයා මෙසේ කීය.

ජනාධිපතිතුමා එක්ක ආණ්ඩු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ඉල්ලීම අගමැතිවරයා වගේම ජනාධිපතිවරයාත් රට ප්‍රතික්ෂේප කරන්න ඕනෑ. ඉවත් වෙනවා නම් දෙදෙනාම ඉවත්ව යා යුතුයි. ජනාධිපතිතුමාට වෙන විකල්ප නැහැ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතියි, අගමැතියි එකට තියලා රටේ ජනතාව ප්‍රතික්ෂේප කළාම එකෙක්ව බිල්ලට දීලා තමන්ට මිදෙන්න පුළුවන් කියලා හිතෙනවා නම් වැරැදියි.

අගමැති ධුරයට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ නමත් යෝජනා වී තිබෙන බව දැනගන්නට තිබෙනවා යැයි පැවැසූ විට මන්ත්‍රිවරයා මෙසේ කීවේය.
මගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ වෙලාවේ පක්ෂ නායකත්වය භාරගෙන පුපුරන්න තියෙන බෝම්බයක් භාර ගනියි කියලා හිතන්නේ නෑ. මගේ මිත්‍රයට මොළය තියෙනවා කියලා තමයි මම හිතන්නේ. බොහෝ වෙලාවට ඔහු කැමැතිවේවි ඊළඟ ජනාධිපතිවරණයත් ඉවර වෙලා පක්ෂ නායකත්වය භාරගන්න. මොකද අනාගත ජනාධිපතිවරණයට අපි ශක්තිමත් අපේක්ෂකයා ඉදිරිපත් කරන ප්‍රතිඥාව අපි දීලා තියෙන්නේ.
සජිත් ප්‍රේමදාස පුපුරන බෝම්බය බදාගෙන තමන්ගේ බෙල්ල දෙයි කියලා හිතන්නේ නැහැ.

මහින්ද සුළඟෙ මීළඟ ඉලක්කය අගමැති ධුරයද යන්න ප්‍රශ්නයටත් මන්ත්‍රිවරයා පිළිතුරු සැපයුවේය.
නැහැ, අපේ ඉලක්කය දෙනවා නම් ජනපති ධුරය සහ අගමැති ධුරය යන දෙකම. නැති නම් අපි ලෑස්තියි ඉදිරි මාස විස්සත් විපක්ෂයේම ඉඳලා මේ ජන රැල්ල වේගවත් කරලා ජනාධිපතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් අත්පත් කරගන්න.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon