දඹුල්ල නගරයේදී දෙදරු පියකු පහරදී මැරුවැයි තරුණයන් දෙදෙනා 21දා තෙක් රිමාන්ඩ්

  👤  3114 readers have read this article !
By mawbima 2018-02-13

දඹුල්ල කේ. කේ. ආරියදාස

දඹුල්ල නගර මධ්‍යයේ අබිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයා හඳුනාගෙන තිබෙන අතර ඝාතනය සිදුව පැය දහයක් ගතවීමට පෙර ඝාතනය සිදු කළ බවට තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිසිය සමත්ව තිබේ.

පසුගියදා දඹුල්ල නගර මධ්‍යයේ පුද්ගලයකු පහරදීමකින් ඝාතනය කර තිබිණි. ඝාතනය කොට ඇත්තේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචි ලියනගේ අමිල ඉන්දික කුමාර කුලතුංග (40) නමැති දෙදරු පියෙකි. ත්‍රිකුණාමලය පෞද්ගලික තෙල් සමාගමක බවුසර් සහායකයකු ලෙස සේවය කරන අයකු ලෙස ඔහු හඳුනාගත් බව දඹුල්ල පොලිසිය කියයි.

හිසේ දරුණු තුවාල සහිතව වැටී සිටි මොහු පිළිබඳව හඳුනා ගැනීමට නොහැකිව තිබියදී නගරයේ වෙළෙඳසල්වල සවි කොට ඇති සීසීටීවී දර්ශන උපයෝගී කරගෙන ඝාතනය සිදුවී පැය දහයක් ගත වීමට මත්තෙන් වයස අවුරුදු 21ක් සහ වයස අවුරුදු 22ක් වූ තරුණයන් දෙදෙනකු පහර දීමට යොදාගත් මුගුරු දෙකද සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල නගරයේ දිවා රාත්‍රි විවෘතව තබන හෝටලයක හිමිකරුවකුගේ මස්සිනා වන අයකු සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකුගේ පුතකු බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
දැනට සිදුකරන ලද මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා අලුයම් කාලයේ රැකියාවට යෑම සඳහා පැමිණ සිටියදී රාත්‍රි විවෘතව පවතින හෝටලයක රැඳී සිටි මෙම තරුණයන් දෙදෙනා සමඟ බහින්බස් වීමක් සිදුව තරුණයන් දෙදෙනා පොල්ලක් කඩාගෙන මෙම පුද්ගලයාට පහරදී හෝටලය වසා පිටව ගිය බවය.
මියගිය පුද්ගලයා අලුයම 3.00ට පමණ ත්‍රිකුණාමලය රැකියා ස්ථානය කරා යෑමට නිවෙසින් පැමිණ තිබුණු බවත් ඔහු එදින රාත්‍රියේ ඥාතියකුගේ නිවෙසේ සාදයකට සහභාගි වී දැඩි ලෙස මත්පැන් පානය කොට සිටි බවටත් අලුයම් කාලයේ සිය බිරිය සමඟද සිත් අමනාපයෙන් නිවෙසින් පිටත්ව ඇති බවටත් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
එම සිත් අමනාපෙන් පැමිණ ඇති පුද්ගලයා අලුයම් කාලයේ රාත්‍රි හෝටලයේ සේවය කරමින් සිටි මෙම තරුණයාට සහ තරුණයාගේ තනිකමට හෝටලයේ රැඳී සිටි මිතුරාට බැන වැදීමත් සමඟ ආරවුල හටගෙන ඇති බව මූලික පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වැටී සිටි ස්ථානයේ තිබූ ලී කැබැලි කොටසක් නිල සුනඛයකුට ලබාදීමෙන් තවත් විශේෂ සාක්‍ෂි රැසක් මෙන්ම පහරදීමට යොදාගත් මුගුරද සොයා ගැනීමට හැකිවූ බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිණී මීගහකුඹුර මහතා සඳහන් කළේය.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ඝාතනයට යොදාගත් මුගුරු 2 දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කොට තිබේ.

මෙසේ බන්ධනාගාර ගතකොට ඇත්තේ දඹුල්ල ගල්වැටියාය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් හා දඹුල්ල අනුරාධපුර පාර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
දඹුල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගයාන් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ නිලධාරීන් මෙම පරීක්‍ෂණය සිදු කළ අතර පොලිස් සැරයන් සිරිනාම මහතා (28812) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon