ජනතාවට නිවැරැදි තීන්දුවක් ගැනීමට ආණ්ඩුව විසුරුවා හැර ඡන්දයක් තියන්න

  👤  3321 readers have read this article !
By mawbima 2018-02-13

පාර්ලිමේන්තුව වහා විසුරුවා හැර මහ මැතිවරණයකට ගොස් තීන්දුවක් ගැනීමට ඉඩ දෙන්නැයි ජනතාව මේ මැතිවරණයෙන් ආණ්ඩුවට පණිවුඩයක් දී ඇතැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කරයි.
මේ වන විට ඇති වී තිබෙන අස්ථාවර භාවය නැති කිරීමට නම් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ප්‍රතිඵල අනුව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නැයි ආණ්ඩුවට කියා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් යෝජනාවක් ගෙන එන්නේ නම් ඕනෑම අවස්ථාවක එම යෝජනාවට සහය දීමට පාර්ලිමේන්තුවේ විපක්‍ෂය වශයෙන් සූදානම් බව ද ඔහු පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඊයේ (12දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්‍ෂ කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ ද කීය.
පළාත් පාලන ආයතන 300න් 232ක් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. එය ඉතාම විශිෂ්ට කාර්ය භාරයක්. මොකද අනෙකුත් පක්‍ෂ පසුබැසීමකට ලක්වෙලා තිබෙනවා. ලක්‍ෂ 50කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දී තිබෙනවා. ඒ ගැන ජනතාවට ස්තුතිවන්ත විය යුතුයි. මහරගම, මහියංගණය, බණ්ඩාරවෙල, තිරප්පනේ බේරුවල ස්වාධීන කණ්ඩායම්වලට අපි සහයෝගය ලබා දුන්නා.

මේ මැතිවරණය ප්‍රදේශයට කොට්ඨාසයට මන්ත්‍රිවරයෙක් තෝරා ගැනීමකට එහා ගිය ජාතික දේශපාලනය දක්වා ගිය මැතිවරණයක් ලෙස තමයි සැලකිය හැක්කේ. රට බෙදනවාට විරුද්ධව, සම්පත් විකුණනවාට විරුද්ධව, විශේෂයෙන්ම බදු බර විශාල වශයෙන් ජනතාවට පැටවීමට විරුද්ධව, සහන කප්පාදු කිරීමට විරුද්ධව සහ දිගින් දිගටම කරගෙන යන්නා වූ පළිගැනීමට විරුද්ධව රණවිරු දඩයමට විරුද්ධව තමයි මේ ජනතාව ඡන්දය ලබා දී තිබෙන්නේ. මේ ආණ්ඩුවේ අදූරදර්ශී ආර්ථික වැඩපිළිවෙළ නිසා ආර්ථික අස්ථාවර භාවය ඇති වෙලා තිබෙනවා.

මැතිවරණයේදී අපි දැකපු එක් කාරණයක් තමයි ආණ්ඩු පක්‍ෂයේ එ.ජා.ප. හා ශ්‍රීල.නි.ප. පක්‍ෂ රටට ඉදිරිපත් කළ වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. පළාතට වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් තමයි මැතිවරණයක් කළ යුත්තේ. මේ වතාවේ තමයි පුංචි මැතිවරණ ඉතිහාසයේ පළමුවැනි වතාවට ආණ්ඩුවක් මඩ ගහලා මැතිවරණ දිනන්න පුළුවන් කියලා හිතුවේ. 2015 ජනවාරි 08 දිනපු විදිහට දිනන්න තමයි මේ අය හැදුවේ. එයාලා මේ මැතිවරණයේදී ආණ්ඩු බලය තියාගෙනත් මඩ ප්‍රචාරණයක් තමයි ගෙන ගියේ. ජනතාව බොහොම පැහැදිලිව පණිවුඩයක් ලබා දී තිබෙනවා මහ මැතිවරණයකට ගිහිල්ලා ජනතාවට තීන්දුවක් ගන්න අවස්ථාව ලබා දෙන්න කියලා.
අපි මාධ්‍යට විශේෂයෙන් ස්තුති කළ යුතුයි. මේ මැතිවරණ ව්‍යාපාරයේදී ඉතාමත් සාධාරණ වාර්තාකරණයක් ගෙන ගියා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වගේම සමාජ ජාල වෙබ් අඩවි මඟින් දැක්වූ සහයෝගයත් අගය කළ යුතුයි.

ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම නිදහස් කරලා මන්ත්‍රිවරුන් පත් කළ පසුව ඔවුන් සියලු දෙනාවම ගෙන්වලා උපදෙස් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. අදාළ ආයතනවල කුමනාකාරයෙන් කටයුතු කළ යුතුද කියලා.

මේ නව මැතිවරණ ක්‍රමයේ අවුලක් තිබෙනවා.
මේ පළාත් පාලන පනත මහා රාත්‍රියේ හදිසියේ සම්මත කරගත්තේ. ඉන් සිදුවූ පාඩුව අද පෙනෙන්න තිබෙනවා. මන්ත්‍රි සංඛ්‍යාව අටදහස් ගණනකට වැඩි කරලා. බැසිල් රාජපක්‍ෂ සහ දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් හදපු පනතේ තිබෙන්නේ මන්ත්‍රිවරුන් හාරදහස් ගාණක්. කොට්ඨාසයක්වත් දිනාගත්තේ නැති අයට මන්ත්‍රි සංඛ්‍යාව වැඩියි.
මේ තත්ත්වය රටටම ගැටලුවක්. රටේ අස්ථාවර භාවය නැති කරන්න පුළුවන් හොඳම දේ තමයි පාර්ලිමේන්තු මැතිවරණයකට යන එක. මහ මැතිවරණයක් තියලා ප්‍රතිඵල අනුව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දෙන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

ආණ්ඩුවෙන් යෝජනාව ගේන්න ඕන පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි කියලා. එවිට අපට පුළුවන් එම යෝජනාවට සහාය ලබා දෙන්න. ජනතා මතයට ඇහුම්කන් දෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. අපේ කිසිම සූදානමක් නැහැ. ආණ්ඩුවක් පිහිටුවන්න රජය සහ ශ්‍රීල.නි.ප.ය සමඟ එකතු වෙන්න. ආණ්ඩුවක් පිහිටුවන්න. ඕනෑ මැතිවරණයකින් ජයග්‍රහණය කරලා. ශ්‍රීල.නි.ප. හා එ.ජා.ප.ය පාර්ශ්ව දෙකම ජනතාව ප්‍රතික්‍ෂේප කර ඉවරයි. ජනාධිපතිවරණයෙන් පසුව මහා මැතිවරණයකට ගියා. ඒ පාර්ලිමේන්තු මැතිවරණය මෙහෙයවුවේ මම ඇතුළු අපේ පක්‍ෂ නායකයන්. එයින් අප ආසන 96ක් දින්නා. එහෙම තියෙද්දී කිසිම ජන වරමක් නැතුව තමයි කට්ටියක් හවුල් ආණ්ඩුවට එකතු වුණේ. අපිට එ.ජා.ප.ය සමඟ හවුල් වෙන්න බැරි නිසා අපි විපක්‍ෂයේ අසුන් ගත්තා. අපිට අයිතිව තිබුණු විපක්‍ෂ නායකකම අපෙන් උදුරගත්තා. විපක්‍ෂයේ සංවිධායකකම අපිට දුන්නේ නැහැ. මේ හැමදේම අපිට විරුද්ධව තියෙද්දී තමයි මේ පුංචි මැතිවරණයට අපි ඉදිරිපත් වුණේ. අපිට ආණ්ඩු බලයක් නැහැ. විපක්‍ෂ නායකකමත් නැහැ. විපක්‍ෂයේ කතා කරන්න තිබෙන අයිතියත් සීමා වෙලා.

අපෙන් විපක්‍ෂය වශයෙන් කෙරෙන කාර්ය භාරය අඩුයි කියලා මාධ්‍ය කියනවා. නමුත් අපිට ලැබෙන්නේ ඉතාම අඩු කාලයක් පාර්ලිමේන්තුව තුළ කතා කරන්න. ජ.වි.පෙ. 6 දෙනාට පැයක කාලයක් ලබා දෙනවා. අපේ 54 දෙනාටම හම්බ වෙන්නෙත් පැයයි. සමහර වෙලාවට පැයක් ලැබෙන්නෙත් නැහැ. මේ තියෙන විකෘති භාවය වෙනස් කරන්න කතානායකවරයා කටයුතු කරන්න ඕනෑ. මේවා සියල්ලටම පිළිතුරු ජනතාව ලබාදීලා තිබෙනවා.
පළාත් සභා තුනක් තවමත් තිබෙන්නේ ආණ්ඩුකාරවරුන් යටතේ. අපි කියනවා ඒ පළාත් සභා තුනේ මැතිවරණත් වහාම පවත්වන්න කියලා. එය ආණ්ඩුවක් කළ යුතු ප්‍රධාන කාර්යයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිකම පිළිබඳව තීන්දු කළ යුත්තේ පක්‍ෂයයි. මම දන්න සිරිසේන නම් එහෙම සභාපතිකම දෙන්නේ නැහැ. ජනතාවගේ සාමාජිකත්වය අපට තිබෙනවා නම් තවත් මොකටද තනතුරු බෝඩ් ලෑලි. මම හැමදාම කියනවා වගේ ඩාලි පාරේ තියෙන ගොඩනැඟිල්ලවත් බෝඩ් ලෑල්ලවත් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නේ.

අපිට අවශ්‍ය නැහැ කුමන්ත්‍රණ කරලා ආණ්ඩු හදන්න. ඔළු ගෙඩි මාරු කරන්න. ආප්ප හරි ඉදිආප්ප හරි කාලා අනිත් පැත්තට පැනලා ආණ්ඩු පිහිටුවන්න අපිට අවශ්‍ය නැහැ. අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවගේ තීන්දුව ලැබෙන තෙක් බලා සිටිනවා. අපිට හදිස්සියක් නැහැ. හැබැයි ජනතාවට හදිස්සියි. ඒ නිසා තමයි අපි මහ මැතිවරණයක් ඉල්ලන්නේ.

හංසයාගෙන් ඉදිරිපත් වුණු සමහරු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වයේ හිටියා. ඒ නිසා පොහොට්ටුවෙන් ඉදිරිපත් වුණා කියලා ශ්‍රී ල.නි.පයේ කාගේවත් පක්‍ෂ සාමාජිකත්වය නැති කරන්න බැහැ.
මම කිසිම කෙනෙක් එක්ක එකතු වෙන්න සාකච්ඡා කරලා නැහැ. හුඟක් අය මගේ ගාවට එන්න කැමැතිත් නැහැ. මොකද ඒ අයට ඉන්න අමාරුයි. මොකද ජනතාවනේ තීන්දු කරලා තියෙන්නේ.

අපේ බලය තිබෙන ආයතනවල ප්‍රධාන තනතුරු පත් කරද්දී බහුතරයකගේ මතය අනුව හොඳට සොයා බලලා තමයි භාර දෙන්නේ.
ඒ වගේම පක්‍ෂවලට බැහැ සන්ධානගත වෙන්න. පළාත් පාලන ආයතන තුළ. මොකද ගමේ සාමාජිකයන් එයට කැමැති වෙන එකක් නැහැ. මොකද එයාලා දන්නවා ගමේ තියෙන ජන මතය කුමක්ද කියලා. ඉහළ මට්ටමට ඒක නොදැනුත් පහළ මට්ටමට ඒක හොඳට දැනෙනවා. මම හිතන්නේ නැහැ. එවැනි තීන්දුවක් ගනියි කියලා. එයාලා අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න තමයි හිතන්නේ.
අපේ වැඩපිළිවෙළ අපි කරගෙන යනවා. ජනතාව අපිට ඡන්දය දුන්න හේතු වෙනුවෙන් පෙනී සිටිමින්. විශේෂයෙන්ම මහා කොල්ලය කළ හොරුන්ට දඬුවම් කිරීම සඳහා බලපෑම් කිරීම විපක්‍ෂයේ ඉඳගෙන අපි කරගෙන යනවා.
මම හිතන්නේ ආණ්ඩුව වහාම මහ මැතිවරණයකට යා යුතුයි.
2019ට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි.
අද ආයෝජකයෝ එන්නේ නැහැ. හැරිලා දුවනවා. ආයෝජකයෝ එයිද මෙහෙම තත්ත්වයක් ඇතිවුණාම. ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් කියනවා තමන්ගේ ආණ්ඩුව පත්වෙලා පළමුවැනි මාසයේ ඉඳලම හොරකම් සිදුවුණා කියලා. මගේ ආණ්ඩුවම මීතොටමුල්ල කුණු කන්ද වගේ කියලා කිව්වට පස්සේ ඊට එහා කතා කරන්න ඕන නැහැ. මොකද කුණු කන්දක් තුළ රට පාලනය කරන්න අමාරුයි. ඉතින් ආයෝජකයෝ එයිද රටට. විශේෂයෙන්ම කළු සල්ලි ගැනත් චෝදනා ගණනාවක්ම තිබෙනවානේ.

මේක ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවක්. ඒ නිසා තමයි අපි කියන්නේ මැතිවරණයක් තියලා ඉල්ලා අස්වෙලා යන්න කියලා. ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවකට ඉදිරියට යන්න බැහැ.

2005 මට රට දෙනකොට දුන්නේ කොහොමද? විරැකියාව අඩු කළා. ආර්ථික වර්ධනය ඇති කළා. ඒකපුද්ගල ආදායම වැඩි කළා. අපිට භාර දුන්නේ වැටිච්ච ආර්ථිකයක් එක්ක මිසක් නෙලුම් මලක් වගේ පිපුණු ආර්ථිකයක් නෙවෙයි. අපි යුද්දෙත් ඉවර කරලා රටේ සංවර්ධනයකුත් ඇති කළා. තෙල් බැරලය ඩොලර් 138ට ගත්තා. මේ ආණ්ඩුවට හම්බවුණේ 27ට. එහෙම නම් ඉතුරු වුණු මුදල්වලට මොකද වුණේ. සංවර්ධනය අවුරුදු දෙකහමාරක් එහෙම්පිටින්ම නැවැත්වූවා මේ ආණ්ඩුව. වැඩබිමක් වෙලා තිබුණු රට එක පාරටම මුඩු බිමක් බවට පත් වුණා. ඒක මිනිස්සු දැක්කා එහෙම නැත්නම් මේ ප්‍රතිඵලය එන්නේ නැහැ. මව්බිම පුවත්පතේ තිබෙන සිතියම දෙස හොඳටම බැලුවම පේනවා තුනෙන් දෙකක්ම කුරහන් පාට වෙලා. කොයිතරම් ලොකු බලවේගයක් තිබෙනවාද කියලා. එයත් සමඟ තමයි අපි ඉදිරියට ගමන් කරන්නේ.
මේ පාර්ලිමේන්තුව විකෘති පාර්ලිමේන්තුවක්. මේ ආණ්ඩුව හදන්න ජනවාරි 08 වැනිදා සහාය ලබාදුන් අයට දුන්නා තනතුරු. දෙගොල්ලක් ඇමැතිකම් බෙදා ගත්තා එකතු වෙලා. අනිත් දෙගොල්ලන්ට පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ තනතුරු ලබා දුන්නා. ඒ 08 වැනිදා ඔවුන් කළ සේවයට කෘතගුණ සලකන්න. ඒක නෙවෙයි සත්‍යභාවය. ඒ අය දැන් ඉල්ලා අස්වෙන්න ඕනෑ.

ඒ වගේම අවසාන වශයෙන් කිව යුතුයි. අපි දිනාගත් හැම ප්‍රාදේශීය සභාවක්, නගර සභාවක් ගැනම සොයා බලන්න උපදෙස් දෙන්න මම කටයුතු කරනවා. වගකීම භාර ගන්නවා.

ඉෂාරා සිල්වා
ඡායාරූප - කාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon