නුවරඑළියේ පළාත් පාලන ආයතන 11ක බලය තහවුරු කිරීමට කුකුළයි, පොහොට්ටුවයි එකතු වෙයි

  👤  3121 readers have read this article !
By mawbima 2018-02-13

හැටන් - චන්න අද්දරගේ, නෝර්වුඩ් - රිද්මි මිලින්දිකා

නව සන්ධානගත වීමකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 11ක බලය තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කරමින් සිටී.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයකට තනි බලයක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි විය. ඒ අනුව මුල්ම සන්ධානගත වීම හැටන් දික්ඔය නගර සභාවෙන් ආරම්භ කළ අතර ලංකා කම්කරු කොංග්‍රසය විසින් දිනාගත් මන්ත්‍රි ධුර 6ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා හිමි වූ ප්‍රසාද ආසන මන්ත්‍රි ධුර 2ක හා කොමියුනිස්ට් පක්ෂය සඳහා ලැබුණ ප්‍රසාද මන්ත්‍රි ධුරයද එක්කර ගනිමින් නව සන්ධානය ගොඩනඟා තිබේ.
මෙහිදී ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි ආරුමුගම් තොණ්ඩමාන් හා පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.එම්. සී.බී. රත්නායක මහත්වරු එක්ව පෙරේදා (11දා) කොටගල ලංකා කම්කරු කොංග්‍රසයේ මූලස්ථානයේදී කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම පියවර ගෙන තිබේ. හැටන් නගර සභාවේ සභාපති ධුරය ලංකා කම්කරු කොංග්‍රසයටත් උප සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීමටත් තීරණය කොට ඇත.

එමෙන්ම අඹගමුව ප්‍රාදේශීය සභාව, තලවාකැලේ ලිඳුල නගර සභාව, මස්කෙළිය හා නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව, හඟුරන්කෙත, වලපනේ, කොත්මලේ, කොටගල, ආගරපතන සහ මස්කෙළිය ප්‍රාදේශීය සභාවලද මෙලෙස සන්ධානගතව බලය පිහිටුවීමට තීරණය කර තිබේ.
මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නව සීමා නිර්ණය නිසා පළාත් පාලන ආයතන 4ක් ආරම්භ කෙරෙන අතර ඒ මස්කෙළිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල යන ප්‍රාදේශීය සභාවන්ය.

නව සන්ධානගත වීමත් සමඟ කොටගල, හැටන්, දික්ඔය නගරවලට එක්වූ ලංකා කම්කරු කොංග්‍රසයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ආධාරකරුවන් 11දා සවස පිළිගැනීමේ හා සතුට ප්‍රකාශ කිරීමේ උත්සව සංවිධානය කර තිබිණි. එම අවස්ථාවන්ට මන්ත්‍රිවරුන් වන ආරුමුගම් තොණ්ඩමාන්, ආර්.එම්. සී.බී. රත්නායක, පළාත් ඇමැතිවරු සහ සභික පිරිසක්ද එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon