අවුරුදු 41කට පසුව කොට්ඨාස මට්ටමෙන් නියෝජිතයන් පත් කිරීමේ වාර්තාගත ඡන්ද විමසීමක්

  👤  3387 readers have read this article !
By mawbima 2018-02-13

අවුරුදු 41කට පසුව කොට්ඨාසයකට නියෝජිතයකු පත් කෙරෙන අයුරින් 2018 පෙබරවාරි 10දා සෙනසුරාදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීම මෙරට දේශපාලන හා මැතිවරණ ඉතිහාසයේ වාර්තා අතරට එක්වූවක් විය.

අවුරුදු 41ක කාලයක් අධිකරණ ක්‍රියාවලියක් වෙනුවෙන් ඡන්දයක් නොපවත්වන ලද පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප්‍රාදේශීය සභා දෙකේ ඡන්ද දායකයන්ට දශක හතරකට පසු ඡන්ද අයිතිය ලැබුණේ ඉකුත් සෙනසුරාදාය.

සංශෝධිත පළාත් පාලන ඡන්ද විමසීම් පනත පදනම් කර ගෙන සිදු කළ සීමා නිර්ණය හේතුකොට ගෙන පළාත් පාලන ආයතන 341ක් සඳහා නියෝජිතයන් 8,227ක් පත්කර ගත යුතු විය. ඒ සඳහා දේශපාලන පක්ෂ 43කින් හා ස්වාධීන කණ්ඩායම් 222කින් අපේක්ෂකයෝ 57,252ක් තරග බිමට ප්‍රවිෂ්ඨව සිටියහ.
2017 ඡන්ද හිමි නාම ලේඛනය අනුව 1,57,60,771ක් ඡන්ද දායකයෝ මේ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබ සිටියහ.
රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,117කදී ඡන්ද විමසීම් සාමකාමීව පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

ඉරිදා (11දා) රාත්‍රියේ පුවත්පතත් මුද්‍රණයට සූදානම් කරන මොහොත වන විට මැතිවරණ කොමිසම නිකුත් කළ නිල ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 4,941,952 (ප්‍රතිශතය 44.65%) ක් ලබා ගනිමින් පළාත් පාලන ආයතන 239ක බලය හිමිකරගෙන තිබිණි. එම පක්ෂයට සභික ධුර 3,369ක්ද හිමි විය.
දෙවැනි ස්ථානයට පත්වූ එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 41ක ජය හිමිකරගත් අතර 32.65%ක ප්‍රතිශතයක් වාර්තා කරමින් ඡන්ද 3,612,300ක් ලබා ගත්තේය. එම පක්ෂයට සභික ධුර 2,385ක් හිමිව ඇත.

ඉලංකෙයි තමිල් අරසු කච්චි ඡන්ද 339,675ක් ලබා ගත්තේ ආයතන 34ක බලය තහවුරු කර ගනිමින්. ඔවුන්ට සභික ධුර 407ක් හිමිවිය. ප්‍රතිශතය 3.07ක් විය.
ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 697,870ක් ලබාගෙන සභික ධුර 431ක් හිමිකර ගත්තද එකම ආයතනයක් හෝ දිනා ගැනීමට වරම් නොලැබිණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන ආයතන 10ක බලය හිමිකර ගත්තේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ලැබූ ඡන්ද සංඛ්‍යාව 989,821කි. ප්‍රතිශතය 8.94ක් විය. එම පක්ෂයට සභික ධුර 674ක් හිමි විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 491,835ක් ලබා ගෙන සභික ධුර 358කට හිමිකම් කියයි. ප්‍රතිශතය 4.44%කි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන රාශියකම සියලුම කොට්ඨාස එම අපේක්ෂකයන් විසින් දිනා ගන්නා ලදී. එබැවින් ප්‍රතිවාදී පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට එකම කොට්ඨාසයක් හෝ ජය ගැනීමට ඉඩ ලැබුණේ නැත.
නිකවැරටිය, වාරියපොළ, අලව්ව, ගිරිබාව, නොච්චියාගම, නුවරගම් පළාත උතුර, රාජාංගණය යන ප්‍රාදේශීය සභාද, අනුරාධපුරය මහ නගර සභාවද එසේ සියලු කොට්ඨාස ජයගත් ආයතන අතර වෙයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, පලාගල, ප්‍රදේශය යන දෙක මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, අකුරැස්ස, තිහගොඩ, මාතර, පිටබැද්දර, හක්මණ, වැලිගම, මුලටියන, කඹුරුපිටිය, කිරින්ද, පුහුල්වැල්ල, දෙවිනුවර, මාලිම්බඩ යන ප්‍රාදේශීය සභාවල එකම කොට්ඨාසයක් හෝ වෙනත් පක්ෂයකට ජයගත නොහැකි වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු ආසන ජයගත් හේතුවෙනි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව, අක්මීමන, බෙන්තොට, රජ්ගම, යක්කලමුල්ල, තවලම යන ප්‍රාදේශීය සභාවල සියලු කොට්ඨාස ශ්‍රී ල.පො.පෙ. ජයගත්තේය.
ත්‍රිකුණාමලේ පදවි ශ්‍රී පුර, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව, කෑගල්ල ප්‍රාදේශීය සභාව, මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල ප්‍රාදේශීය සභාව, සියඹලාණ්ඩුව, තණමල්විල, වැල්ලවාය, බදුල්ල, බිබිල යන ප්‍රාදේශීය සභාවලද අම්පාර දිස්ත්‍රික්කයේ දමන, රත්නපුරයේ කොළොන්න, ඇඹිලිපිටිය, කලවාන, කුරුවිට, නිවිතිගල, ඉඹුල්පේ, කලවාන, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, මිල්ලනිය, බේරුවල සහ වළල්ලාවිට ප්‍රාදේශීය සභාද ගම්පහ දිසාවේ ගම්පහ ප්‍රාදේශීය සභාව, ‍ෙදාම්පේ ප්‍රාදේශීය සභාව සහ ගම්පහ මහ නගර සභාවද ශ්‍රී ලං.පො. පෙ. දිනා ගත්තේ වෙනත් පක්ෂ කිසිවකට කිසිම කොට්ඨාසයක් දිනා ගැනීමට අවස්ථාවක් නොදෙමිනි.
හම්බන්තොට දිසාවේ කටුවන සහ බෙලිඅත්ත ප්‍රාදේශීය සභා දෙකේ සියලුම කොට්ඨාස ජය ගත්තේ් ශ්‍රී ලං. පො.පෙ. විසිනි. කොළඹ දිස්ත්‍රික්කයේ බොරලැස්ගමුව, කැස්බෑව නගර සභා දෙකත් හෝමාගම ප්‍රාදේශීය සභාවත් කිසිම කොට්ඨාසයක් වෙනත් පක්ෂයකට හිමි නොවිණි.

ශ්‍රී ලං. පො. පෙ. නාම යෝජනා ප්‍රතික්ෂේප වීමෙන් පසු තරග කිරීමේ අවස්ථාව අහිමි වූ මහරගම නගර සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දක්වමින් බයිසිකලය ලකුණෙන් ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම විසින් දිනා ගන්නා ලද අතර මහියංගණය ප්‍රාදේශීය සභාවද ස්වාධීන කණ්ඩායමක් විසින් දිනා ගන්නා ලදී.
බේරුවල නගර සභාවද දිනා ගත්තේ ස්වාධීන කණ්ඩායමකි. මහරගම, බේරුවල සහ මහියංගණය ස්වාධීන කණ්ඩායම් තුනේ සහයෝගය ශ්‍රී ල.පො.පෙ.ට ලබා දෙන බව උපකල්පනය කරමින් සංඛ්‍යා ලේඛන සකස්කරන විට එම පක්ෂයේ ප්‍රතිශතය තවත් වැඩිවනු ඇත.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය පළාත් පාලන ආයතන 5ක්ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන 3කද බලය හිමි කරගෙන සිටියි.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය ආසන 10ක් හිමිකරගත් ස්වාධීන කණ්ඩායම් ධ්ට හිමිවීමද විශේෂයකි.
2017 මාර්තු 17, 2011 ජූලි 23 සහ 2011 ඔක්තෝබර් යන මාසවලදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීමක් සිදු කෙරුණේ වසර 7කට පමණ පසුවය.

2011දී පැවැති පළාත් පාලන ආයතන ගණන 322කි. පත් කරගත් සභික සංඛ්‍යාව 4,327ක් විය. මෙවර තරගය එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික පක්ෂය අතරය.

එවක ජනපති මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් එ.ජ.නි.ස.ය ඡන්ද 48,21,203ක් ලබා ආයතන 270ක් ජයගෙන සභික ධුර 2,611ක් දිනා ගත්තේය.
එහෙත් මෙවර මහින්ද රාජපක්ෂ නායකත්වය දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් වූ එක් අවුරුදු තුන් මාසයක් වයසැති අලුත්ම පක්ෂයකටය. එහිදී ඡන්ද 49,41,952ක් ලබාගත් අතර ආයතන 239ක බලය හිමි විය.
මෙවර එ.ජ.නි. සන්ධානයට නායකත්වය දුන්නේ වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන විසිනි. එම පක්ෂය ලබා ගත්තේ ආයතන 3ක බලය පමණකි. ලබාගත් ඡන්ද ගණන 9,89,821ක් විය.

2011දී එවකට විපක්ෂ නායකයාව සිටි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ එජාපයට නායකත්වය දෙමින් ඡන්ද 27,10,222ක් ලබා ගත් අතර ආයතන 9ක බලය හිමි කරගත්තේය. සභික ධුර ගණන 1,157කි.

අවුදු 7කට පසුව එජාපය එම ඡන්ද ගොඩ 9,02,037කින් වැඩි කරගෙන ඇත. එජාපය ඡන්ද 36,12,259ක් ලබා ගත්තේය.
2011දී දෙමළ ජාතික සන්ධානය ඡන්ද 255,078ක් ලබා ගත්තේය. ඔවුන්ට සභික ධුර 274ක්ද ආයතන 32ක බලයද ලැබිණි.
මෙවර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි ධුර 74ක් හිමිකර ගත්තේ ඡන්ද 2,42,502ක් ලබා ගනිමිනි. මෙවර ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව 6,93,875ක් දක්වා වර්ධනය වීම විශේෂත්වයක් වන අතර සභික ධුර ප්‍රමාණයද 431ක් දක්වා වැඩි වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon