වාස් ගුණවර්ධන වසර 5කට හිරේ

  👤  3273 readers have read this article !
By mawbima 2018-02-13

කේ. එස්. උදයකුමාර්

2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන්...සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එවකට සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස කටයුතු කළ වත්මන් රහස් පොලිසියේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතාට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 05ක සිර දඬුවම් නියම කරන ලදී.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 25,000ක දඩයක්ද නියම කෙරුණු අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව එක් වසරක සිර දඬුවම් නියම කරන බවද නියෝගයේ සඳහන් විය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රකාශ කළේ 2013 වසරේ මිනී මැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට විත්තිකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා රහස් පොලිස් මූලස්ථානයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු විසින් පරීක්‍ෂණ මෙහෙයවූ එවකට සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට මරණීය තර්ජන එල්ල කර ඇති බව චෝදනාවල සඳහන් වන බවයි.

"මම දන්නවා උඹලා මට මේක කරයි කියලා. ශානි මම මිනීමරුවෙක්. මම එළියට ආපුදාට බලාගන්නම්" යනුවෙන් විත්තිකරු විසින් කළේ යැයි කියන තර්ජනය පිළිබඳ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්‍ෂිවලින් මරණීය තර්ජනය කිරීමේ චෝදනාව මනාව ඔප්පු වී ඇතැයි විනිසුරුවරයා සඳහන් කළේය.
එම ප්‍රකාශය තුළ ශාරීරික වශයෙන් හානියක් සිදුකිරීමේ අදහසක් ගැබ්ව ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන සාක්‍ෂි විශ්වසනීයත්වයකින් යුක්ත බවද සඳහන් කළේය.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී විත්තිකරු නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කර ඇති අතර ඔහුට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔහුට වඩා කනිෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට අවශ්‍යතාවක් නොමැති බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

මිනීමැරීමේ චෝදනාවලින් ඇප ලබාගැනීම වැළැක්වීම සඳහා රහස් පොලිසිය තමා වෙත මෙවැනි අභූත චෝදනාවක් එල්ල කළ බවට විත්තිකරු විසින් එල්ල කළ චෝදනාවද ප්‍රතික්‍ෂේප කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබූ හෙයින් ඇප ලබාදීමට අධිකරණයකට බලයක් හිමි නොවන හෙයින් එවැනි උත්සාහයක් දැරීමට පොලිසියට අනවශ්‍ය බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
දඬුවම් ලිහිල් කරන ලෙස අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සෙනෙවිරත්න මහතා මෙම චෝදනාව සමථ මණ්ඩලය හමුවේ සමථයක් ඇතිකර ගැනීමට හැකියාවක් තිබූ චෝදනාවක් යැයි පෙන්වා දුන් අතර මෙම චෝදනාවේ ලිහිල් භාවය සැලකිල්ලට ගෙන විත්තිකරුට අඩු දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා සාපරාධී බියගැන්වීම නමැති චෝදනාවට විත්තිකරු වරදකරු කරමින් ඔහුට දඬුවම් නියම කළේය.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම පිළිබඳ පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව තවත් චෝදනා 05ක් එල්ල කර තිබුණද එම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොතිබීම හේතුවෙන් විත්තිකාර වාස් ගුණවර්ධන මහතා එම චෝදනාවලින් නිදහස් කිරීමටද විනිසුරුවරයා නියෝග කළේය.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ ප්‍රසන්න අරම්පත් මහතා සමඟ ජේ‍යෂ්ඨ නීතිඥ අනුර සෙනෙවිරත්න මහතා පෙනී සිටියේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon