ආණ්ඩුව ඇතුළේ දැනෙන වෙනසක් කරනවා

  👤  3866 readers have read this article !
By mawbima 2018-02-12

ඉදිරි දින කීපය තුළ ජනතාවට දැනෙන ලොකු වෙනසක් ආණ්ඩුව තුළ සිදු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඊයේ (11දා) දහවල් කැඳවා ප්‍රකාශ කොට තිබේ.

පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ ප්‍රතිඵලයෙන් ආණ්ඩුවට ඡන්ද දායකයන් දී තිබෙන පණිවුඩය ගැන මැති ඇමැතිවරුන් දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ සඳහන කර ඇත.

ජනාධිපතිවරයාගේ නිල නිවෙසේ පැවැති මේ සාකච්ඡාවේදී අදහස් දක්වා ඇති ජේ‍යෂ්ඨ ඇමැතිවරුන් ඍජුව ප්‍රකාශ කර තිබෙන්නේ ආණ්ඩුව පසුගිය කාලය තුළ ගෙන ගිය වැඩපිළිවෙළට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් මේ ඡන්ද ප්‍රතිඵලයෙන් දැනුම් දී තිබෙන බවත් මෙය දේශපාලන වශයෙන් සුළුකොට නොතැකිය යුත්තක් බවත්ය.
ආණ්ඩුව තවදුරටත් පවත්වා ගෙන යෑම සඳහා විසඳුමක් ගැනීමට දැන් කාලය පැමිණ තිබෙන බව පවසා ඇති ජේ‍යෂ්ඨ ඇමැතිවරුන් පවසා තිබෙන්නේ එසේ නොවුණහොත් ජනතාව මීටත් වඩා දැඩි විරෝධයක් ප්‍රකාශ කරනු ඇති බවයි.

විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ආණ්ඩුව තුළ සිටීම මේ ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය නොදීමට ප්‍රධානම හේතුවක් වන බව පෙන්වා දී ඇති එම ඇමැතිවරුන්, මේ පිළිබඳව දේශපාලන වශයෙන් තීන්දුවක් ගතයුතු බවත්, වෙනසක් ඇති නොවන්නේ නම් තනතුරුවලින් හා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගන්නට සිදුවනු ඇති බවටද කරුණු දක්වා තිබේ.
එක් ජේ‍යෂ්ඨ ඇමැතිවරයකු, මේ විදියට අපට යන්න බෑ. වෙනසක් කරන්න, අගමැතිවරයා වෙනස් කරන්න ඕනෑ. යු.එන්.පී.යට කරගන්න කියලා අපි විපක්ෂයේ ඉඳගන්වැයි දැඩි ස්වරයකින් ප්‍රකාශ කළ බවද දැනගන්නට ඇත. සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු මැති ඇමැතිවරු කීපදෙනෙක් මෙහිදී අදහස් දක්වා තිබේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ උදාවී තිබෙන මේ දේශපාලන වෙනස ගැන සාකච්ඡාවක් පවත්වා දේශපාලන විසඳුමකට යන්න යැයි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ශ්‍රී ල.නි.ප. නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යෝජනාවක්ද කර තිබේ. ජනාධිපතිවරයා එම යෝජනාවට අකැමැත්තක් පළ නොකළ බව මේ සාකච්ඡාවට සහභාගි වූ ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් "මව්බිම"ට පැවැසුවේය.

ඉදිරි දින කීපය තුළ ආණ්ඩුවේ වෙනසක් කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබෙන්නේ ශ්‍රී ල.නි.ප. ජේ‍යෂ්ඨ ඇමැතිවරයා මෙසේ අදහස් දැක්වෙමින් පසුවය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, තමාගේ ප්‍රතිපත්තිය පිරිසුදු දේශපාලනයක් බවත්, තමා මැරෙන තුරුම එම ස්ථාවරයේ සිටින බවත්ය. එම ප්‍රතිපත්තිය පාවා නොදෙන බව දැඩිව පවසා ඇති ජනාධිපතිවරයා, ඒ තුළ සිටිමින් මා කටයුතු කර බව සපථ කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon