රටේ රැල්ල මහින්දට

  👤  3576 readers have read this article !
By mawbima 2018-02-12

දයා පෙරේරා,
ජේ.ටී ද සිල්වා

ශ්‍රී ලංකා දේශපාලන ගමන් මඟ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා (10දා) පැවැති පළාත් පාලන ඡන්දයෙන් විශිෂ්ට ජයක් ලබා ගමේ ආණ්ඩු බලය අත්පත් කර ගනියි.

දේශපාලන පක්ෂයක් වශයෙන් 2016 නොවැම්බර් මස මුලදී ආරම්භ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද විමසීම පැවැති පළාත් පාලන ආයතන 340න් ආයතන 234කට අධික සංඛ්‍යාවක බලය ඊයේ සවස් වනවිට ප්‍රකාශයට පත් ප්‍රතිඵල අනුව හිමිකරගෙන තිබිණි. එය සමස්ත පළාත් පාලන ආයතන සංඛ්‍යාවෙන් තුනෙන් දෙක ඉක්මවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 4,08,196ක් ලබාගෙන සිටියේ 45.56%ක ප්‍රතිශතයක් වාර්තා කරමිනි. ඒ අනුව සභිකයන් 2784ක් හිමිවී ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් තරග කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි පසුබෑමකට ලක්වෙමින් ආයතන 11ක බලය ලබාගත්තේය. ඒ අනුව එජනිසය ආයතන 4ක්ද ශ්‍රී ලනිපය ආයතන 7ක්ද ජයගෙන තිබිණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට ආයතන 42ක බලය හිමිවී තිබූ බවද පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවේ ප්‍රකාශිතව තිබිණි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එජාපය පරාජය වූ තිස්වැනි මැතිවරණය මෙය වේ.
දෙමළ ජාතික සන්ධානය ආයතන 27ක්ද, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය ආයතන 05ක්ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන 03ක්ද, ස්වාධීන කණ්ඩායම් 03ක් ආයතන තුනක බලයද හිමිකර ගනිද්දී, ජනතා විමුක්ති පෙරමුණට එකදු ආයතනයක් හෝ ජයගත නොහැකි විය.
ජවිපෙ ඡන්ද පදනම 2011 පළාත් පාලන ඡන්දයට වඩා වැඩිවී තිබිණි. එමෙන්ම සභිකයන් 347ක් පත්කර ගැනීමට හැකිවී ඇත.
මහරගම, තිරප්පනේ හා මහියංගණය යන පළාත් ආයතනවල ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමෙන් පසු එම පක්ෂ සහයෝගය ලබාදුන් ස්වාධීන කණ්ඩායම් තුනම පාලන බලය දිනා ගැනීමද සුවිශේෂ සිදුවීම් විය.

කොළඹ මහ නගර සභාවේ බලය ආසන 60ක් ලබාගත් එජාපයට හිමිවිය. පොදු ජන එක්සත් පෙරමුණේ බලය පැවැති කඩුවෙල මහ නගර සභාවේ බලය ශ්‍රී ලපොපෙට හිමිවිණි. යාපනය දිස්ත්‍රික්කය ඇතුළු උතුරේ ආයතන කිහිපයකට ප්‍රථමවරට පළාත් පාලන ආයතන සඳහා තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයන් 27 දෙනකු ජයග්‍රහණය කිරීම එම පක්ෂයේ සංහිඳියා පිළිවෙතේ ප්‍රතිඵලයකැයිද විශ්ලේෂකයෝ කියති.
කොට්ඨාස ක්‍රමය අනුව මන්ත්‍රිවරුන් පත්කර ගැනීම සඳහා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමෙන් පසුව මෙම ඡන්දය පැවැත්වීම නිසා අවුරුදු හතළිස් එකකට පසු ජනතාවට තම ගමට නියෝජිතයකු පත්කර ගැනීමේ වරම උදාවිය.

අධිකරණ ක්‍රියාමාර්ග නිසා අවුරුදු හතළිහක්ම අත්හිටුවා තිබූ පුදුකුඩුඉරිප්පු හා මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය සභා දෙකේ ඡන්ද විමසීම්ද අවුරුදු හතළිහකට පසු පෙරේදා පැවැත්විණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සංවිධායක ධුරය දරන අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ බලයද ශ්‍රී ලපො පෙරමුණට හිමිවිය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා සංවිධායක ධුරය දරන තංගල්ල ආසනයද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක සංවිධායක ධුරය දරන කලාවැව ද පරාජය වූ අතර බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය සංවිධායක ධුරය දරන මහරගම ස්වාධීන කණ්ඩායමක් ජය ගත්තේද වාර්තාවක් පිහිටුවමිනි. කඩුවෙල මහ නගර සභාවේ හිටපු සභාපති ජී. එච්. බුද්ධදාස (එජනිස) බත්තරමුල්ල ආසනයෙන්ද පරාජය විය.
රාජිත සේනාරත්න, පී. හැරිසන්, මහින්ද සමරසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා යන ඇමැතිවරුන් සංවිධා

යක ධුර දරන ආසනද පරාජයට පත්විය.
උෟව මහ ඇමැතිවරයාගේ බිරිය ඇල්ල ප්‍රාදේශීය සභාවට තරග කර පරාජයට පත්ව සිටින්නීය.
සුජීව සේනසිංහ, ආචාර්ය හර්ෂ ද සිල්වා යන රාජ්‍ය ඇමැතිවරුන්ද අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයාද සිය ආසන පරාජය වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon