ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩා නීතියට යටත් එන්.ඕ.සී.යට රජයේ මුදල් අවශ්‍ය නැහැ ලේකම් මැක්ස්වෙල්ගෙන් ප්‍රකාශයක්

  👤  3201 readers have read this article !
By mawbima 2018-02-12

සිරිනාම රජපක්ෂ

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (එන්.ඕ.සී.) පසුගිය වසර 7කට අදාළ විගණන වාර්තා සම්බන්ධව එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු දීමේ අරමුණෙන් එන්.ඕ.සී. ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාධ්‍ය හමුවක් පැවැති අතර එහිදී ලේකම්වරයා කියා සිටියේ මෙරටේ ක්‍රීඩා නීතියට එන්.ඕ.සී. පරිපාලනයද යටත් වන බව තමන් පිළිගන්නා බවයි.

මේ මස 23දා පැවැත්වීමට නියමිත එන්.ඕ.සී. නිලවරණය සඳහා එහි වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වන කණ්ඩායම පිළිබඳවද දැනුවත් කිරීමේ අරමුණෙන් පැවැති එදින මාධ්‍ය හමුව අරඹමින් අදහස් දැක්වූ සිල්වා මහතා තවදුරටත් කියා සිටියේ එන්.ඕ.සී. කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයෙන් මුදල් ලබා නොගන්නා බවත් රජයේ මුදල් තම ආයතනයට අවශ්‍ය නොමැති බවත්ය. අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් හතළිස් පන්දහසක (45,000{) සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයෙන් වසරකට ඩොලර් ලක්ෂයක (100,000{) මුදලක් වශයෙන් එන්.ඕ.සී. යට ලැබෙන බව කී ලේකම්වරයා "ඊට අමතරව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහයෝගිතා වැඩසටහන් යටතේ වසරකට ඩොලර් විසි දහසක (20,000{) ආධාර මුදලකුත් ලැබෙනවා. ඒ අනුව අපේ සාමාජිකත්වය දරන සාමාජික සංගම් 30ට වසරකට රුපියල් ලක්ෂ - 2ක් බැගින් අපි දෙනවා. ඒ වගේම අපේ එන්.ඕ.සී. බැංකු ගිණුම් පොලී ආදායම වසරකට රුපියල් මිලියන 5.79ක්. ඊට අපේ කායවර්ධන මධ්‍යස්ථානය, අවන්හල සහ ශ්‍රවණාගාරය බදුදීමෙන් ලැබෙන ආදායම එකතු කළාම අපට තවත් රුපියල් මිලියන 33ක පමණ වාර්ෂික ආදායමක් තිබෙනවා." යනුවෙන් පැවැසීය.

තවද 2009දී එන්.ඕ.සී.යේ පරිපාලනය භාරගන්නා විට රුපියල් මිලියන 6.7ක්ව තිබූ බැංකු තැන්පතුව 2017. 12. 31 දින වනවිට රුපියල් මිලියන 82.8ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ප්‍රකාශ කළ සිල්වා මහතා ඉන් රුපියල් මිලියන 40ක් ස්ථාවර ගිණුමක් යටතේ මහජන බැංකුවේ තැන්පත් කර ඇතැයිද අනාවරණය කළේය. වර්තමානයේ මහජන බැංකුවේද සභාපතිවරයා ලෙස කටයුතු කරන හේමසිරි ප්‍රනාන්දු මහතා වත්මන් එන්.ඕ.සී. සභාපතිවරයා ලෙසද වසර 20ක පමණ කාලයක් කටයුතු කරන අතර 2009 සිට එම ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන මැක්ස්වෙල් සිල්වා මහතා තවදුරටත් කියා සිටියේ 2010 - 2012 දක්වා කාලයට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්තා මඟින් සුළු අඩුපාඩුකම් පෙන්වාදී තිබුණත් පසුගිය වසර 7ක අදාළ එම සමස්ත ගිණුම් වාර්තා පිළිබඳ කිසිදු ගැටලුවක් පැනනැඟී නොමැති බවයි.

ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සමඟ එන්.ඕ.සී. භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ, සහකාර භාණ්ඩාගාරික චන්දන පෙරේරා යන මහත්වරුන්ද සහභාගි වූ එම මාධ්‍ය සාකච්ඡාවේදී ඇසූ පැනයන්ට පිළිතුරු දෙමින් සිල්වා මහතා ප්‍රකාශ කළේ එකී විගණන වාර්තා මඟින් මූල්‍ය අක්‍රමිකතා කොහෙත්ම පෙන්වාදී නොමැති බවත් විෂමාචාර සිදුවූ බවටද පැහැදිලි කිරීමක් නොමැති බවත්ය. කෙසේ වෙතත් රජයේ මුදල් එන්.ඕ.සී.යට අවශ්‍ය නැතැයි සාකච්ඡාව ආරම්භයේදීම කී ලේකම්වරයා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ගෙන ඇති මුදල් වෙනුවෙන් අදාළ රිසිට් පත් ඇතුළු ලේඛන නිසි පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද බවද සඳහන් කළේය.

නමුත් එදින මාධ්‍ය හමුවකදී විගණකාධිපතිවරයාගේ වාර්තා සම්බන්ධව ඇසූ පැනයන්ට දියාරු පිළිතුරු ලබාදීම විශේෂයක් වූ අතර ඒවා තවදුරටත් සනාථ කරන්නට 2012 හා 2013 වර්ෂවලට අදාළ එන්.ඕ.සී. විගණිත වාර්තා තුළින් මතුකරන ලද කරුණු කිහිපයක් පමණක් උදාහරණ ලෙස සඳහන් කළ හැකිය. එනම් 2012 විගණකාධිපති වාර්තාවේ 2.2.4 (ඇ) වගන්තියෙන් විගණනය සඳහා සාක්ෂි නොවීම යටතේ ජ'නල් වවුචර් 97ක වටිනාකම රුපියල් මිලියන 80.2ක මුදලක් සහ 2013 වාර්තාවේ 4.2 වගන්තියෙන් රුපියල් මිලියන 52ක මුදලක් පිළිබඳවත් අක්‍රමිකතා පෙන්වාදී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon