ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියත් 1-0ක් ලෙස ජයගනී

  👤  3102 readers have read this article !
By mawbima 2018-02-12

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේදීම ලකුණු 215ක ජයක් හිමිකරගෙන තරගාවලියද 1-0ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සමත් වූ අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ගණනකට හිමිකම් කියන වමත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තා අතරට එක්වන්නටද දඟ පන්දු යවන රංගන හේරත් සමත් විය. ඉනිම දෙකේදීම අර්ධ ශතක වාර්තා කළ රොෂේන් සිල්වා තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන දිනාගත් අතර තම මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ අකිල ධනංජය ඉනිම දෙකේදී ලකුණු 44කට කඩුලු 8ක් බිඳහෙළා ශ්‍රී ලංකා පන්දු යවන්නකු තම පළමු ටෙස්ට් තරගයේදී වාර්තා කරන ලද හොඳම පන්දු යැවීමේ වාර්තාව අලුත් කරන්නටද සමත් විය.

ශෙරී බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ තෙවැනි දිනය ආරම්භ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 200ක් රැස් කරගෙන බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 312ක් ඉදිරියෙන් සිටි අතර රොෂේන් සිල්වා ලකුණු 58ක් සහ සුරංග ලක්මාල් ලකුණු 7ක් ලබා කඩුල්ලේ රැඳී සිටියහ. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 226ක්ව තිබියදී ටයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 21ක් රැස් කරගත් සුරංග ලක්මාල් දැවී ගිය අතර ඒ වන විට 9 වන කඩුල්ල වෙනුවෙන් රොෂේන් සිල්වා සහ සුරංග ලක්මාල් ලකුණු 48ක සබඳතාවක් ගොඩනඟා තිබිණි.

ඉන්පසු පිටියට පිවිසි රංගන හේරත් මුහුණදුන් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගන්නට ටයිජුල් ඉස්ලාම් සමත් විය. තම ටෙස්ට් දිවියේ තෙවැනි අර්ධ ශතකය වාර්තා කළ රොෂේන් සිල්වා නොදැවී ලකුණු 70ක් ලබා සිටි අතර පන්දු යැවීමේදී ටයිජුල් ඉස්ලාම් ලකුණු 76කට කඩුලු 4ක් සහ මුස්ටෆිසුර් රෙහෙමාන් ලකුණු 49කට කඩුලු 3ක් බිඳ හෙළීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 339ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඉනිමේ දෙවැනි පන්දු වාරයේ පළමු පන්දුව යැවූ දිල්රුවන් පෙරේරා ඉදිරියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 2ක් ලබා සිටි තමීම් ඉක්බාල් දැවී ගිය අතර ඉම්රුල් කයිස් සහ මොමිනුල් හක් දෙවැනි කඩුල්ලට ලකුණු 46ක සබඳතාවක් ගොඩනැඟීය. රංගන හේරත්ගේ පන්දු යැවීමට ගොදුරු වූ ඉම්රුල් කයිස් ලකුණු 17කට දෙවැනි කඩුල්ල ලෙසත් මොනිමුල් හක් ලකුණු 33කට තෙවැනි කඩුල්ල ලෙසත් දැවී ගියේය. බංග්ලාදේශ ඉනිමේ සිවු වැනි කඩුල්ල ලෙස ලකුණු 12ක් රැස් කරගත් ලිතන් දාස් අකිල ධනංජයගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය අතර ඔහුගේම පන්දුවක් හමුවේ ලකුණු 6ක් ලබා ගත් නායක මහමුදුල්ලා දැවී යන විට බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 100ක්ව තිබිණි.
තරගයේ ග්‍රහණය තමන් වෙතට නතු කරගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා ලකුණු 238ක් ඉතිරිව තිබියදී ඉනිමේ ඉතිරි කඩුලු 5ම ලකුණු 23ක් තුළ දවා ගන්නට සමත් වූ අතර පන්දු යැවීමේදී අකිල ධනංජය ලකුණු 24කට කඩුලු 5ක් සහ රංගන හේරත් ලකුණු 49කට කඩුලු 4ක් බිඳ හෙළීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon