දරුවන් 7 දෙනකුගේ සහ මුනුබුරු මිනිබිරියන් 13 ගේත්, මී මුනුබුරන් 15 දෙනකුගේත් ආදරය ලබමින් ගෙවත්තක් වගා කරන අවුරුදු 91 අත්තම්මා

  👤  3308 readers have read this article !
By mawbima 2018-02-12

හිරියාල - කේ.පී. සුනිල්

අක්කර දෙකක් වූ තම ගෙවත්තේ පොල් වගාව හා වෙනත් ස්ථිර වගාවන් නඩත්තු කරමින් ගෙවත්තේ කොටසක නිවෙසට අවශ්‍ය එළවළු හා අතුරු බෝග වගා කරන වයස අවුරුදු 91ක අත්තම්මා කෙනකු අපට පොල්පිතිගම, කිරිබමුණේගම නම් ගම්මානයේදී හමුවිය. ඇය නමින් ආර්.එම්. උක්කුමැණිකාය.
සහෝදරියන් හය දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දියණිය ලෙස 1927.02.16 වැනි දින වාරියපොළ, එළවිටිගමදී ඇය උපත ලබා ඇත.
උප්පැන්න සහතිකයට අනුව මේ වනවිට ඇයගේ වයස අවුරුදු 91කි. එහෙත් ඇය ප්‍රකාශ කරන්නේ එකල දරුවන් නිවෙසේ උපදින අතර අවුරුදු තුන හතරක් පමණ ගෙවී ගිය පසු උප්පැන්න සහතික සඳහා පෝරම පුරවන බවයි. එහිදී සැබැවින්ම උපන් අවුරුද්ද නොව උප්පැන්න ලියනු ලබන අවුරුද්ද බොහෝවිට උපන් අවුරුද්ද ලෙස සටහන් කරන බවද ඇය කියයි. ඒ අනුව ඇයගේ වයස බොහෝදුරට අවුරුදු 94ක් හෝ 95ක් විය හැකිය.

ඇස් පෙනී සුළු දුර්වලතාවක් මිස කිසිදු රෝගී තත්ත්වයක් නොමැති ඉතාම නිරෝගී ඇය අද තරුණයන් අතර පවා බහුලව දක්නට ඇති දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල් ආදී කිසිම රෝගයක් තමන්ට නැති බව පවසන්නේ උස් හ¾ඩින් සිනා පාමිණි. දිනපතා හොඳින් මහන්සි වී වැඩ කරන නිසා තමන් එලෙස නිරෝගීව සිටින බවද ඇය පවසන්නීය. එසේම ඇය කියා සිටින්නේ තමන්ට වැඩ නොකර සිටීමට නොහැකි බවයි.
ඒ අනුව ඇය සෑම දිනකම උදය කාලයේ පැය දෙකක පමණ කාලයක්ද සවස පැය දෙකක පමණ කාලයක්ද පුරුද්දක් ලෙස සිය ගෙවත්තේ වගා කටයුතුවල නිරත වේ. පොල්වලට අමතරව ගස් කජු ඇය තම ඉඩමේ ස්ථිර භෝග ලෙස වගා කර තිබේ. දරුවන් 7 දෙනකුගේ මවක වන ඇය තම බාල පුතු හා ඔහුගේ දරු පවුල සමඟ පදිංචිව සිටින්නීය. මේ වනවිට මුනුබුරු මිනිබිරියන් 13 දෙනකුගේ හා මී මුනුබුුරුන් 15 දෙනකුගේ ආදරය ලබමින් සිටී.
ඒ.එම්. කිරිමුදියන්සේ මහතා සමඟ 1949 විවාහ ව ඇති ඇය නාරම්මල ප්‍රදේශයේ පදිංචිව සිට 1979 වසරේදී පොල්පිතිගම, කිරිබමුණේගම ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇත. 1992 වසරේදී ඇයගේ සැමියා මියගොස් ඇත.

සිය කුඩා කාලය පිළිබඳ සිහිපත් කළ ඇය පවසා සිටියේ, තමා කිසි දිනෙක පාසල් නොගිය බවයි. අප්පොච්චි අපට කිව්ව ගෑනු ළමයි ඉස්කෝලෙ යන්න ඕනෑ නෑ. බුලත් කොටුවලට වතුර දාන්නයි, වී කොටන්නයි, ගොයම් නෙළන්නයි, පැදුරු වියන්නයි, උයන්න පිහන්නයි ඉගෙන ගත්තාම ඇති කියලා.
නිතර සංචාරයේ යෙදීමට කැමැත්තක් දක්වන උක්කුමැණිකා ආත්තම්මා ප්‍රකාශ කරන්නේ තමා වැඳ පුදා නොගත් ප්‍රසිද්ධ සිද්ධස්ථානයක් ශ්‍රී ලංකාවේ නොමැති බවය.
තම නැන්දණිය ඉතාම නිර්ලෝභී තැනැත්තියක් බව පවසන ඇයගේ ලේලිය වන පී. ශාන්ති මහත්මිය පවසන්නේ නැන්දණිය වගාවන්ගෙන් ලබන අස්වැන්න දුරින් පැමිණෙන ඥාතීන්ට, හිතවතුන්ට හා අසල් වැසියන්ට නොමිලේ ලබා දෙන බවයි. එසේම ඇයගේ පොල් හා ගස් කජු ආදී වගාවන්ගෙන් ලැබෙන ආදායම්ද පවුලේ වියදමට හා මුනුපුරන් ඇතුළු ඥාතීන් සඳහා ලබාදෙන බවද ලේලිය ප්‍රකාශ කළාය.

තමාට තවමත් ඉතා හොඳින් වැඩ පළ කළ හැකි බව පවසන උක්කුමැණිකා මහත්මිය එළවළුවලට අමතරව මුං, කව්පි, රටකජු, මිරිස් ආදී බෝග ගෙවත්තේ වගා කරයි. කෙසේ වෙතත් පොල්පිතිගම ප්‍රදේශයට කාලයක් පුරා බලපා ඇති නියඟය ඇයගේ වගාවන් සාර්ථක කර ගැනීමට බාධා පමුණුවයි.
එහෙත් ඉන් අධෛර්යය නොවන ඇය ඒ පිළිබඳ මෙසේ කියයි.
දැන් මේ ප්‍රදේශයට අවුරුදු දෙකකින් විතර හරිහමන් වැස්සක් වැස්සෙ නෑ. ඒක මගෙ වගාවට ලොකු ගැටලුවක්. ඉතිං මම මුනුපුරාට කියලා මෝටරයක් මඟින් ළිඳෙන් ජලය ලබාගෙන ඒවා බැරල්වලට දාගෙන බාල්දියෙන් වගාවට දානවා.

ජීවන ගමනේ අනූ එක් වැනි සැතපුම් කණුව පසු කළද තවමත් ඉතා කඩිසරව වැඩ පළ කරන නිර්ලෝභී ඇයට සිරිකත වෙනුවෙන් චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපි ඇගෙන් සමුගතිමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon