ජනවාරි 8 ජනවරමට මෛත්‍රි - රනිල් පිටුපෑව නිසා රාජපක්ෂ කණ්ඩායමට බලය හිමි වුණා

  👤  3115 readers have read this article !
By mawbima 2018-02-12

 රටත් ජනතාවත් මුහුණ දෙන අර්බුද මේ මැතිවරණයෙන් තීව්‍ර වනවා මිසක අඩු නොවන බැවින් ජනතා විමුක්ති පෙරමුණේ 'සටන' පෙරටත් වඩා ශක්තිමත් වන බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
ජනවාරි 8 ජනතාව ලබා දුන් ජනවරමට, මුළුමනින්ම පටහැනිව ආණ්ඩුව කටයුතු කිරීම මඟින් පරාජිත රාජපක්ෂ කණ්ඩායමට මෙවර බලය ලබාගැනීමට ඉඩකඩ සැලසුණු බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

දිසානායක මහතා පැවැසුවේ මෙවරද තම පක්ෂය බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබුණද 2011 වසරේ ලැබූ මන්ත්‍රි ධුර 72ට වඩා වැඩි මන්ත්‍රි ධුර ප්‍රමාණයක් මෙවර ලබා ගැනීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බවය.

කෙසේ නමුත් වසර 70ක් තිස්සේ රටත්, ආර්ථිකයත් අරාජිකත්වයට පත් කළ ජනතාව ඉදිරියේදී මුහුණ දෙන ගැටලු හමුවේද නැවත ඔවුන් නවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ ළඟ බවත් එසේ පැමිණෙන පීඩා අපහසුතාවන්ට ජනතාවද වගකිව යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේ ඊයේ (11දා) සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්
"මේ මැතිවරණය රට තුළ විශාල ආණ්ඩු විරෝධයක් මෙන්ම වංචා දූෂණවලට එරෙහි විරෝධයක් තිබුණා. මේ මැතිවරණ ප්‍රතිඵල අනුව පක්ෂයක් ලෙස අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැහැ. එහෙත් 2011 පළාත් පාලන ඡන්දයෙන් මන්ත්‍රි ධුර අපට තිබුණ 72ක් පමණයි. ඒ මැතිවරණ සමඟ සන්සන්දනය කරද්දී සැලකිය යුතු මන්ත්‍රි ධුර ප්‍රමාණයක් වැඩිවෙලා තියෙනවා. මේ ප්‍රතිඵල යම් දේශපාලන ජයග්‍රහණයකට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. අපි ඊට ස්තුතිවන්ත වෙනවා.
මේ ප්‍රතිඵලය තුළින් ඉතා හොඳින් පෙන්නනවා ආණ්ඩුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ බව. පසුගිය අවුරුදු 3 තුළ ඇති කළ ක්‍රියාමාර්ග මුළුමනින්ම පාහේ ප්‍රතික්ෂේප කොට තිබෙනවා. ආණ්ඩු විරෝධය සැලකියයුතු ලෙස රාජපක්ෂලා වටා ගොනුවී තිබෙන බව පෙන්වනවා. රටේ ජනතාවට අතිශ්‍ය සමීප මේ පළාත් පාලන ආයතන බහුතරය රාජපක්ෂගේ පාලනයට නතුවීම මෙරට දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කිරීමට ඉඩ තිබෙනවා.

කවුරු මැතිවරණවලදී ජයග්‍රහණය කළත් පොදුජන ප්‍රශ්නවලට මුහුණදෙද්දී හොයාගෙන එන්නේ ජවිපෙ බව අපි දන්නවා. එම හොර, වංචාවලට එරෙහිව තමයි අපි ඉදිරියේදීත් මැදිහත් වෙන්නේ. මේ දේශපාලන පීඩාවලට ජනතාවත් වගකියන්න ඕනෑ. යම් පළාත් පාලන ආයතනයක් ජනතාව විසින් තෝරාපත් කරගෙන සිටිනවා. අපි කියන්නේ පොදුවේ රට පාලනය කළේ මේ පක්ෂ දෙක වසර 70ක් මේ ඔක්කොම සමඟ කඩාවැටුණු ආර්ථිකයත්, කඩාවැටුණු සමාජයත් තිබුණේ. පොදු ජනයා මේ උගුලෙන් ගැලවීමට කටයුතු කළ යුතුව තිබුණා. කෙසේ නමුත් ඉකුත් මහ මැතිවරණයට සාපේක්ෂව ජවිපෙට ලැබුණු ඡන්ද ප්‍රමාණය ඉහළ ගොස් තිබීම කැපීපෙනෙන කාරණයක්.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
දේශපාලනයේ විවිධ හැලහැප්පීම් සිද්ධ වෙනවා. ජනවාරි (8) ජනතාවට දුන් ජනවරමට සාධාරණය ඉටුකිරීමට අසමත් වීම තමයි රාජපක්ෂගේ කණ්ඩායමට ජයග්‍රහණය ලබන්න හේතුව වුණේ. කොහොම වුණත් පළාත් පාලන ආයතවලින් ලබා ගැනීමට තිබූ උපරිම සේවාව තමයි ජනතාව මේ නැති කරගත්තේ.
මීට කලින් මේ ආයතන පාලනය කළත් මේ පක්ෂ දෙක තමයි. වෙනසක් නැහැ. නොදැනුවත්කම නිසා හෝ වෙනත් හේතු නිසා හෝ ලබාගන්න තිබූ සේවාව නැති කරගෙන කියලයි ජනතාවට කියන්න තියෙන්නෙ.

අපිට ඡන්ද අඩු වුණේ නැහැ. වැඩිවෙලා. ප්‍රතිශතයත් වැඩිවී තිබෙනවා. මන්ත්‍රි සංඛ්‍යාවත් වැඩිවෙලා අපිට දක්නට ලැබෙනවා. නමුත් අපි මීට වඩා බලයක් බලාපොරොත්තු වූ බව ඇත්ත. තනි පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ තමයි තරග කළේ. අනෙක් පක්ෂ තවත් පක්ෂ සමඟ සන්ධානගතවී තමයි ඡන්දෙට අවතීර්ණ වුණේ. ඉදිරියේදී මේ තත්ත්වයත් සමඟ අනිවාර්යයෙන් දේශපාලන වෙනසක් රටේ ඇතිවේවි. හැබැයි මේ බලය ගත්තු කිසිවකුට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරි බව අපිට සහතිකයි.
අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon