ජනවරමට හිස නමා කරුණාකර ගෙදර යන්න

  👤  3325 readers have read this article !
By mawbima 2018-02-12

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව 2015 ජනවාරි 08 වැනිදා ලබාදුන් ජනවරම අහෝසි වී ඇති බැවින් 2019 නොවැම්බර් මස තෙක් නොසිට වහාම ඉල්ලා අස්වෙන්නැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට බල කර සිටියි.

ඔවුන් සඳහන් කරන්නේ රටේ ප්‍රශ්න විසඳීමට නොහැකි ආණ්ඩුවේ නායකයන් දෙදෙනාවම සමස්ත ප්‍රගතිශීලී ජනතාව විසින් අන්ත පරාජයකට පත් කර ඇති බවයි.
ඊයේ (11දා) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අත් කර දුන් මෙම ජයග්‍රහණය රටේ ජයග්‍රහණය බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද පැවැසුවේය.

මේ වන විට පළාත් පාලන ආයතන 340 න් 250කට වැඩි ආයතන ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා. ආණ්ඩුව බලයේ සිටින විට විරුද්ධ පක්ෂයට මෙතරම් ඡන්දය ප්‍රකාශ කිරීමක් මීට පෙර ඉතිහාසයේ සිදුවෙලා නැහැ. මේ ප්‍රතිඵලවලින්ම ප්‍රකාශ වෙනවා පොහොට්ටුව සහ මහින්ද රාජපක්ෂ මහතා වටා ජනතාව රොද බැඳගෙන සිටින බව.

ජනතාව මේ වන විට රටේ නායකයන් දෙදෙනාවම ඔවුන් මෙතෙක් මුහුණ නොදුන් ආකාරයේ අන්ත පරාජයකට පත්කර තිබෙනවා. එය තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. දැන් රටේ නායකයන් දෙදෙනාගේම ජනවරම අහෝසි වී හමාරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්
මේ ප්‍රතිඵලයෙන් පසුව ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ රට පාලනය කරන්න. මෙරට මැතිවරණ ඉතිහාසයේ කොහේවත් මෙවැනි මැතිවරණ ප්‍රතිඵලයක් නැහැ. ජනතාව බලාගෙන හිටියේ ඔවුන්ගේ මේ මතය ප්‍රකාශ කරන්නයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතීන්ට ගරු කරනවා නම් මේ ආණ්ඩුව වහාම ඉවත් විය යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉතාමත් පිළිකුල් සහගතව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ ඡන්ද ප්‍රතිඵල දෙස බැලූ විට එය සක්සුදක් සේ පැහැදිලියි. ජනාධිපතිවරයාගේ දිස්ත්‍රික්කය වන පොළොන්නරුව දිස්ත්‍රික්කයත් ඡන්ද 94,136ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළා. කරන්න පුළුවන් හැමදේම කරලත් ආණ්ඩුව පරාජය වුණා.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ
ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ පක්ෂ පරාජය කර ජනතාවගේ පක්ෂය ජයග්‍රහණය කරවන්න තීන්දු කිරීම ගැන ජනතාවට ස්තුතිවන්ත වෙනවා. ජනතාව මේ ඉදිරිපත් වුණේ සුළු පටු කාර්යයකට නොවෙයි. 1956 පෙරළිය වගේ පෙරළියකට තමයි ජනතාව මේ සූදානම් වන්නේ. මේ මැතිවරණ තීන්දුවෙන් පසුවත් ආණ්ඩුවේ උදවිය තමන්ගේ ආසනවල ඉන්න හිතන් ඉන්නවා ඇති. මේ පණිවුඩේට කන ඇහෙන්නේ නැත්නම් කන පැළෙන්න තීන්දුවක් දෙන්න රටේ ජනතාව සූදානමින් ඉන්නේ. සිරිසේන-වික්‍රමසිංහ හවුලට අපි කියනවා තවදුරටත් වේදිකාවේ රඟන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා පීචන් නොවී වේදිකාවෙන් බැහැලා යන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම
මේ මැතිවරණයට කෝටි ගාණක මුදල් වියදම් කරමින් එජාපය මැතිවරණ ප්‍රචාරණය කළා. ශ්‍රීලනිපය ඊට වඩා ටිකක් අඩුවෙන් වියදම් කරමින් මැතිවරණ ප්‍රචාරණය ගෙන ගියා. කොහොම වුණත් ඔවුන් අති විශාල ප්‍රචාරණ ව්‍යාපෘතියක් ගෙන ගියා.

පසුගිය අවුරුදු තුන පුරාවටම මහින්ද කියන ලකුණට අඩන්තේට්ටම් කරමින් පාලනය කරන්න ආණ්ඩුව අඛණ්ඩ අභ්‍යාසයක නිරත වුණා. එහෙත් ජනතාව ඊයේ තීන්දු කළා මහින්ද ලකුණ කිසිවකුට මකා දමන්න බැරි බව.

වසර 67ක ශේ‍ර්ෂ්ඨ ඉතිහාසයක් තිබුණ ශ්‍රීලනිපය අද පහතට ඇදලා දමලා තිබෙනවා. ඒකට වගකිවයුතු පිරිස නිරුවත් කර අපරාධකරුවන් ලෙස ජනතාව හංවඩු ගසා තිබෙනවා. ශ්‍රීලනිප නායක නායිකාවන් එකතුවෙලා ශ්‍රීලනිපය අලියා ගිල්ල දිවුල් ගෙඩියක් බවට පත් කර හමාරයි. පෙබරවාරි 10 වැනිදායින් පසු සියවස් ගණනාවකට පාලනය භාරගන්නා ඕනෑම ආණ්ඩුවකට ඉතාම ප්‍රබල පණිවුඩයක් ජනතාව විසින් ලබාදී තිබෙනවා.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල.
මේ මැතිවරණ ප්‍රතිඵලය ජාතියේ ඉතිහාසයත් අනාගතයත් දෙකම වෙනස් කළ මැතිවරණ ප්‍රතිඵලයක්. කිසිදාක නොවූ විරූ අයුරින් ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේ ආණ්ඩුව 2015 ජනවාරි 08 හදපු මුදවපු කිරි හට්ටියක්. එහි කල් ඉකුත්වීම සඳහන් කර තිබුණේ 2019 නොවැම්බර් ලෙසයි. නමුත් මේ මුදවපු කිරි හට්ටිය ඊයේ පිළුණු වුණා. පිළුණු ගඳ ගහන විට ජනතාව ඒවා ඉවත් කරනවා. ආණ්ඩුවට වී තිබෙන්නෙත් එයමයි. ජනතාවගේ හඬට ආණ්ඩුව කන් නොදුන්නොත් පාර්ලිමේන්තුව, අගමැති කාර්යාලය, ජනාධිපති කාර්යාලය වුණත් වටලන්න අපි සූදානම්.

පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ලබාගෙන තිබෙන්නේ ඓතිහාසික ජයග්‍රහණයක්. ශ්‍රීලනිපය ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙන බව පැහැදිලිවම පෙනෙන්න තිබෙනවා. ආණ්ඩුවට මුක්කු ගහන ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අපි කියනවා තමන්ගේ දේශපාලන ගමන ගැන අවධානයෙන් ඉන්න ලෙස.

ඉෂාරා සිල්වා
ඡායාරූප-සස්සඳ ලියනාරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon