බැඳුම්කර නාඩගම සහ කිරි-පාන් පිටි නාඩගම

  👤  3411 readers have read this article !
By mawbima 2018-02-12

පුංචි ඡන්ද වේදිකාවේ රඟදැක්වුණු ප්‍රධාන නාඩගම බවට පත්වූයේ බැඳුම්කර මගඩියයි. ඒ මඟින් රටේ ජනතාව මුහුණ දෙන සෙසු බරපතළ ගැටලු පිළිබඳ සංවාදය යටපත් වන බව පැහැදිලිව පෙනේ. බැඳුම්කර සංවාදයට ප්‍රධාන දායකත්වය සපයන්නේ එම මගඩියට වගකිව යුතු පාර්ශ්ව විසිනි. එනම් ආණ්ඩුවේ පාර්ශ්ව දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයයි. ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් යම් පමණකට ඝෝෂා නැඟුවද ඔවුන් රඟ දක්වන්නේ ප්‍රේක්ෂකයාගේ භූමිකාව පමණි. වේදිකාවට නැඟ ප්‍රබල භූමිකාවක් අත්පත් කරගැනීමට ඔවුන් උනන්දු වන බවක් නොපෙනේ. පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලීම හැර වෙනත් විරෝධයක් ඔවුන් විසින් පළ කරන බවක් නොපෙනේ. වර්තමානයේ ශේ්‍රෂ්ඨාධිකරණයේ අසුන් ගන්නා විනිසුරුවරුන් දෙදෙනකු විසින් ලබාදුන් වාර්තාවක් පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ අවශ්‍යතාවක් තිබේද? විමර්ශන කොමිෂන් සභා නීතිය අනුව ඊට ඉදිරිපත් වන සාක්ෂි මත සෘජුව නඩු පැවැරීමේ හැකියාව ඇත. දැන් සිදුවිය යුත්තේ මහජන ඇස් ඉදිරියේ වැරැදිකරුවන් වී ඇති ඊනියා චූදිතයන් සියල්ලන්ට විරුද්ධව නඩු පැවැරීමය. නමුත් සිදුවන්නේ ඊට ප්‍රති විරුද්ධ දෙයකි. එනම් කොමිසමේ සාක්ෂි මෙහෙය වූ දක්ෂ නිලධාරින් නඩු පැවැරීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමය.

එසේ වුවත් ඒකාබද්ධ විපක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ පාර්ශ්ව දෙක විසින් ඉදිරිපත් කරන ව්‍යාජ රංගනයට එරෙහිව ප්‍රේක්ෂකාගාරයේ සිට "හූවක්" දීමට හෝ ඉදිරිපත් වන බවක් පෙනෙන්නේ නැත. මැතිවරණයට ඉදිරිපත් වන 9000ක් වන අපෙක්ෂකයන් තවත් එක් සගයෙක් සමඟ කොළඹට කැඳවුවත් ආණ්ඩුවේ ව්‍යාජ ඝෝෂාව යටපත් වන විරෝධතාවක් පළකිරීමේ හැකියාව ඇත. පළමු වටයේදීම බැඳුම්කර වංචාව යටපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා ඩිව් ගුණසේකර වාර්තාව නිශේධනය කළ ජනාධිපතිවරයාට එම වරද නිවැරැදි කිරීමට සමාජයෙන් බලපෑමක් එල්ල වන්නේ නැත. ඒ වෙනුවට දැන් එතුමාට වීරයාගේ චරිතය රඟපෑමට අවස්ථාව උදාවී ඇත. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තාවකාලිකව හෝ වගකීම්වලින් නිදහස් කිරීමෙන් තොරව ජනාධිපතිවරයා කියන ආකාරයට ඔහුගේ උදවු ලබාගෙන වැරැදිකරුවන්ට දඬුවම් දිය නොහැකි බව කුඩා ළමයකුට වුවද වටහා ගත හැකිය. නීතිපති දෙපාර්තමේන්තුව දැන් ක්‍රියා කරන ආකාරයෙන් ඒ බව පැහැදිලිව පෙනේ. එම තත්ත්වය තුළ සමස්ත මැතිවරණ කාලය බැඳුම්කර නාඩගම බලමින් නාස්ති කර දැමීමට විපක්ෂය සූදානම් වනවාද?

එසේ නොවේ නම් ඔවුන් වහාම ප්‍රේක්ෂක භුමිකාව වෙනුවට වීදියේ හෝ වේදිකාවේ භූමිකාව අත්පත් කරගත යුතුය. වීදියේ භූමිකාව ඇඟට අමාරු නම් වේදිකාවේ භූමිකාව සඳහා තවත් ඕනෑ තරම් "කතා වස්තු" ඇත. විපක්ෂයේ මොළය පෑදීම සඳහා සහ හුදී ජන පහන් සංවේගය උදෙසා එවැනි එක් කතාවස්තුවක් මෙසේ ඉදිරිපත් කළ හැකිය. එම "මගඩි කතා" බැඳුම්කර මගඩියට වඩා බරපතළ එකකි. නමුත් එම කතාවද ගොඩනැඟෙන්නේ හිටපු මුදල් අමාත්‍යවරයා මුල්කරගෙනය. අවශ්‍ය නම් එය "පාන් පිටි කිරිපිටි නාඩගම්" ලෙස නම් කළ හැකිය. බැඳුම්කර වංචාකරුවන් විසින් උපයාගත් ලාභය ලෙස සැලකෙන්නේ රුපියල් මිලියන 11,000කි. එමෙන්ම ඔවුන් විසින් රාජ්‍ය ආයතනවලට සෘජුව සිදුකොට ඇති අලාභය ලෙස සැලකෙන්නේ රුපියල් මිලියන 8,000ක ප්‍රමාණයකි. ඒ අනුව රජයට සිදුවූ සමස්ත සෘජු අලාභය දළ වශයෙන් රුපියල් මිලියන 20,000 ලෙස සැලකිය හැකිය. එසේම බැඳුම්කර මඟඩිය නිසා වසර 30ක කාලය තුළ රටට සිදුවන වක්‍ර පාඩුව රුපියල් මිලියන ලක්ෂ 10ක් හෙවත් බිලියන 1,000ක් හෙවත් ටි්‍රලියන එකක් බවට සංඛ්‍යාලේඛන ඉදිරිපත් වේ.

නමුත් පාන් පිටි කිරිපිටි බදු මගඩිය හෙවත් හිටපු මුදල් අමාත්‍යවරයාගේ බදු සහන කර්මාන්තය නිසා එක් වසරකදී රටට සිදුවන පාඩුව රුපියල් මිලියන 52,000කි. එනම් බැඳුම්කර මගඩියේ සමස්ත සෘජු පාඩුව මෙන් තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකි. ඒ අනුව වසර 30කදී එම බදු මගඩියෙන් රටට සිදුවන සමස්ත සෘජු පාඩුව රුපියල් බිලියන 1,560කි. එනම් බැඳුම්කර මගඩි නිසා සිදුවන සමස්ත පාඩුවටත් වඩා වැඩි පාඩුවකි. එම බදු මගඩිය නිසා වී ගොවිතැන සහ කිරි ගොවිතැන කඩා වැටීම මඟින් දීර්ඝකාලීනව රටට සිදුවන වක්‍ර පාඩුව බැඳුම්කර මගඩිය නිසා සිදුවන වක්‍ර පාඩුව මෙන් සිය ගුණයක් විය හැකිය. ඒ මඟින් ආහාර සුරක්ෂිතතාවට, මහජන සෞඛ්‍යට සහ දීර්ඝකාලීනව ග්‍රාමීය ආර්ථිකයට, ජන ජිවිතයට සහ පරිසරයට සිදුවන අලාභය ගණන් බැලීම පහසු නැත. මෙවැනි විශාල අනර්ථයක් රටට සිදුකොට අදාළ ඇමැතිවරුන් විසින් කොපමණ කොමිස් මුදලක් ලබා ගන්නේද යන්න සිතාගත නොහැකිය. එහෙත් විදේශීය සමාගම්වලට ලබාදෙන බදු සහනය වන මිලියන 52,000න් 20%ක් කොමිස් ලෙස එම සමාගම විසින් ලබා දුන්නා යැයි සැලකුවහොත් එම ප්‍රමාණය බැඳුම්කර මගඩිකරුවන්ගේ ලාභය ඉක්මවා යයි.

මෙම බදු වංචා මගඩිය පිළිබඳ අද වනතුරු පාර්ලිමේන්තුවේදී විවාදයක් ඉල්ලීමට විපක්ෂය අසමත් වී ඇත. අදාළ සමාගම එය වැළැක්වීම සඳහා මැදිහත් වනවාද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් මැතිවරණ වේදිකාවේදී මෙම මගඩිය ගැන එළිදරව් කිරීමට විපක්ෂය අසමත් වුවත් ඉන් පසුව හෝ එම සංවාදය මතු කිරීම සඳහා ඊට අදාළ නිධාන කතාව ඔවුන් විසින් දැන ගත යුතුය. වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට පත්වී දින සීයේ සටහන තුළ පළමු සහනය ලබා දුන්නේ විදේශීය පාන්පිටි සමාගම්වලටය. ඒ අනුව ආනයනික තිරිඟුපිටිවලට පනවා තිබූ විශේෂ බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 10ක ප්‍රමාණයකින් අඩුකරනු ලැබීය. ඒ සඳහා එම සමාගම් විසින් හෝ මහජනයා විසින් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කර නොතිබූ අතර ආණ්ඩුව විසින් මහජනයාට එවැනි පොරොන්දුවක් ලබාදී තිබුණේද නැත.

ඒ වනවිට රට තුළට තිරිඟු මෙටි්‍රක් ටොන් ලක්ෂ 13ක් ආනයන කළ බැවින් එම වසරේදී රජයට දරන්නට සිදුවූ පාඩුව සහ සමාගම්වලට ලැබුණු වාසිය රුපියල් මිලියන 13,000කි. නමුත් අදාළ සමාගම් එම වාසියෙන් කොටසක් හෝ පාරිභෝගිකයාට ලබාදුන්නේ නැත. ඒ වෙනුවට පාරිභෝගිකයාට සිදු වූයේ කෙටි කෑම සඳහා වැඩි මිලක් ගෙවීමටය. නමුත් එම සමාගම තමාට ලැබුණු අමතර ලාභය යොදා ගනිමින් තිරිඟුපිටි පරිභෝජනය වැඩි කිරීම සඳහා මහා පරිමාණ තිරිඟු පිටි සහ බේකරි නිෂ්පාදන අලෙවිකරුවන් යොදා ගනිමින් දැවැන්ත ප්‍රචාරණ වැඩපිළිවෙළක් දියත් කරනු ලැබීය. මහජනයාට සෘජුව දැකගත නොහැකි එම ක්‍රියාමාර්ග මඟින් එම වසර අවසාන වනවිට රටේ තිරිඟු පිටි පරිභෝජනය මෙටි්‍රක් ටොන් ලක්ෂ 17 දක්වා වැඩි කිරීමට අදාළ සමාගම් සමත් විය. ඒ පිළිබඳ බෝනොවන රෝග වැළැක්වීම ගැන බොහෝ කතා කියන පිරිස් විසින් හෝ අවධානයක් යොමු කළේ නැත.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර ලෙස "කළුහාමිගේ ප්‍රතිපත්තිය" අනුගමනය කරමින් එනම් එක් පොල් බෑයක් රැගෙන දුවන බල්ලාට අනෙක් බෑයෙන් දමා ගැසීමට ආණ්ඩුවේ නිලධාරීහු ක්‍රියා කළහ. ඒ අනුව ඔවුන් 2016 වසරේදී තිරිඟු සඳහා පනවා තිබූ විශේෂ බද්ද තවත් රුපියල් 10කින් අඩු කළේය. ඒ මඟින් ආණ්ඩුවට වසරකදී සිදුවන පාඩුව සහ සමාගම්වලට ලැබෙන වාසිය රුපියල් මිලියන 34,000 දක්වා ඉහළ ගියේය. මේ වනවිට සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා තිරිඟු පිටි පරිභෝජනය තවදුරටත් ඉහළ ගොස් ඇත්නම් ආණ්ඩුවට සිදුවන අලාභය තවදුරටත් ඉහළ යනු ඇත. පසුගිය කාලය තුළ නාය යෑම් සහ ගංවතුර නිසා වී ගොවිතැනට සිදුවූ අනර්ථයට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් වී ගොවිතැන අධෛර්යවත් කිරීමේ ප්‍රතිපත්තියක සිටින බැවින් තත්ත්වය තවදුරටත් නරක අතට හැරී ඇති බවට සැකයක් නැත. ඊට අමතරව අඩු මිලට ප්‍රතාපන කරන ආනයනික තිරිඟු පිටි නිසා දේශීය සහල් සහ සහල් පිටි කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටී ඇත. සහල් සහ සහල් පිටි මෝල් හිමියන්ගේ සංගම්වල දත්ත අනුව මේ වනවිට කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත 5,000ක් පමණ වැසී ගොස් ඇත.
කිරි ආර්ථිකයේ කතාව ද ඊට දෙවැනි නැත. යහපාලන ආණ්ඩුව බලයට පත් වනවිට පසුගිය ආණ්ඩු විසින් ආනයනික කිරිපිටි සඳහා කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 225ක විශේෂ ආනයන බද්දක් පනවා තිබිණි. එය සාධාරණීයකරණය කරනු ලැබුවේ දේශීය කිරි ගොවිතැන නංවාලීමේ නාමයෙනි. එම කාලය තුළ කිරි ගොවියාට ලැබුණු මිල ක්‍රමයෙන් ඉහළ ගිය අතර දිනකට කිරි ලීටර් එක්ලක්ෂ පනස්දාහක් සකස් කළ හැකි පෞද්ගලික කර්මාන්ත ශාලාවක්ද බිහිවිය. වසර දෙකක් ඇතුළත එම සමාගමට තම ධාරිතාව දෙගුණ කිරීම සඳහා නව යන්ත්‍ර සූත්‍ර සවි කිරීමට සිදුවිය. ඊට අමතරව එම පෞද්ගලික සමාගම විසින් තවත් කර්මාන්ත ශාලා දෙකක් ආරම්භ කිරීම සඳහා කන්තලේ සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් රජයේ ඉඩම් බදු පදනමින් ලබාගැනීම සඳහා ඉල්ලුම් කොට තිබිණි. කිරි ආර්ථිකයේ එවැනි වර්ධනයකට මූලිකව හේතු වූයේ ආනයන බදු පනවා විදේශ කිරිපිටි ආනයනය අධෛර්යවත් කිරීමය.

නමුත් යහපාලන ආණ්ඩුවේ බදු සහන කර්මාන්තය දේශීය කිරිපිටි කර්මාන්තයට වඩා ශීඝ්‍රයෙන් වර්ධනය වූ බැවින් අවස්ථා හතරකදී ආනයනික කිරිපිටිවලට බදු සහන ලබාදුනි. ඒ මඟින් කිලෝග්‍රෑම් එකකට රුපියල් 225 වූ විශේෂ බද්ද රුපියල් 2 දක්වා රුපියල් 223කින් අඩුකරනු ලැබීය. ඒ අනුව දැන් රටට ආනයනය කරන කිරිපිටි ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 80,000 දක්වා ඉහළ ගොස් ඇති අතර විදේශීය කිරිපිටි සමාගම්වලට වසරකට ලබාදෙන බදු සහනය රුපියල් මිලියන 18,000 දක්වා ඉහළ ගොස් ඇත. එනම් කිරි ගොවිතැන් දියුණු කිරීම් සහ කිරි ගොවිතැනට සහන ලබාදීම සඳහා යෙදවිය හැකිව තිබූ මිලියන 18,000ක් සමාගම්වල සාක්කුවට වැටී ඇත. එහෙත් ගෙවෙමින් තිබූ මුදලක් නතර වීම නිසා එම මුදල සමාගමේ ශුද්ධ ලාභයට එකතු ඵවේ. ආණ්ඩුව විදේශීය සමාගම්වලට ඒ ආකාරයට බදු සහන ලබා දෙන්නේ ලෝක වෙළෙඳපොළේ කිරි පිටි මිල පහත වැටී තිබෙන තත්ත්වයක් තුළය. නමුත් අනෙක් රටවල් එවැනි තත්ත්වයකදී කරන්නේ සමාගම විසින් අයුතු ලාභ ලබා ගැනීම වැළැක්වීම සඳහා ආනයන බදු වැඩි කිරීමය. ඒ නිසා එම සමාගම් තමාට ඒ උදව්ව කරන පුද්ගලයාට නිර්ලෝභීව සලකන බව නොතේරෙන්නේ කාටද?
සමහර විට මේ ලිපිය පළ වීමෙන් පසු අඩුම තරමින් ජනාධිපතිතුමා හෝ මේ විනාශය පිළිබඳ දැනුවත් වනු ඇත. එක් පැත්තකින් කිරි ගොවියාට ගෙවන ඉහළ මිල මට්ටම් පවත්වාගෙන යමින් දිගින් දිගට විදේශීය කිරිපිටි සමාගම් සමඟ තරග කිරීමට දේශීය කිරිපිටි සමාගම්වලට හැකියාවක් නැත. අනෙක් පැත්තෙන් විදේශීය සමාගම් විසින් තම අධික ලාභය යොදාගනිමින් ආක්‍රමණශීලී ප්‍රචාරණ ක්‍රමවේද යොදා ගන්නා බැවින් දේශීය සමාගම් තවදුරටත් අසරණ වී ඇත. දැනට ශ්‍රී ලංකාවේ දේශීය කිරිපිටි සමාගම් ඇත්තේ දෙකක් පමණි. එකක් රජයට අයත් වේ. රජයේ සමාගම පසුගිය කාලයේදී තම ධාරිතාව ඉහළ නැංවීමට අසමත් වීම නිසා ඔවුන්ගේ අතිරික්ත කිරි ලබාදීමට සිදුවන්නේ පෞද්ගලික සමාගමටය. වෙළෙඳපොළ තුළ පවතින අසාධාරණ තරගකාරිත්වයට මුහුණ දීමේ දුෂ්කරතාව නිසා එම සමාගම විසින් කන්තලේ සහ කුරුණෑගල ඉදිකිරීමට සැලසුම් කළ කර්මාන්තශාලා අත්හිටුවා ඇත.

එම පෞද්ගලික සමාගම් හිමිකරුවා අදාළ කිරි කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන්නේ ඔහුගේ වෙනත් ව්‍යාපාරවල අරමුදල්වලින් බව කියැවේ. ඔහු තම කර්මාන්ත ශාලාව වසා නොදමන්නේ තමාගේ ගෞරවයට වඩා කිරි ගොවියාට තිබෙන අනුකම්පාව නිසා බවට කිරි ගොවියෝ පවසති. යම් අවස්ථාවක එම ව්‍යාපාරික මහතාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියහොත් දිනකට කිරි ලීටර් ලක්ෂ තුනක් පමණ මහ පාරේ හැලීමට සිදුවනු ඇත. ඒ නිසා ඔහුට ඉවසීමක් ලබාදුන් ඔහුගේ මවුපියන්ට ආණ්ඩුවේ කෘෂිකර්ම සහ පශුසම්පත් බලධාරීන් උදේ සවස මල් තබා වැඳුම් පිදුම් කළ යුතුය. එහෙත් ඒ මඟින් රටට කරනු ලබන අනර්ථයට නම් කිසිදා සමාව ලබාගත නොහැකිය. දැන් ජනාධිපතිතුමා බැඳුම්කර හොරුන්ගේ නහය ළඟට දිගු කර ආපසු නවන කඩුව පාන් පිටි කිරිපිටි බදු හොරුන්ට එරෙහිව දිගු කරනවා දැයි විමසන්නේ කවුද?.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon