විවිධ පැතිකඩ විහිදවන දුනුදැමූවැටේ ධම්මාලෝක නාහිමියන්ගේ ශාසනික සේවය

  👤  3263 readers have read this article !
By mawbima 2018-02-12

ජයතිලක කුල දරුවා නොච්චියාගම විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය ලබමින් සිටියදී පැවිදි කරවන ලෙස නිතර නිතර මවුපියන්ට ඇවිටිලි කරන්නට විය. පෙර පින් බලයෙන් සසුන්කෙත පෝෂණය කිරීමට උත්සාහ කරන තම සුරතල් පුතු අටවැනි වියට පා තබද්දී මවුපියන් විසින් නොච්චියාගම ඓතිහාසික හල්ලමිල්ලගල ශ්‍රී දුටුගැමුණු රජමහා විහාරාධිපති වැඩ විසූ වැලිවැවේ රතනපාල නා හිමියන්ට භාර කළහ. ගුරු නාහිමියන්ගේ දහම් දැනුම ලැබ පසුව ගම්පහ විද්‍යාරවීන්ද්‍ර විශ්ව විද්‍යාල පිරිවෙනට ඇතුළත්ව වේයන්ගොඩ දඩගමුව රජමහා විහාරස්ථානයේ වැඩ වාසය කරමින් වැඩිදුර අධ්‍යාපනය ලැබීය.

1962 ජුනි 09 වැනි දින මහනුවර මල්වතු උපෝසථාගාරයේ දී අධිශීල සංඛාත උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබුවේ හල්ලමිල්ලගල රජමහා විහාරාධිපති වැලිවැවේ රතනපාල නාහිමිපාණන් වහන්සේගේත් අල්ගල ධම්මජෝති නාහිමිපාණන් වහන්සේගේත් ශිෂ්‍ය නමක් ලෙස උපසම්පදාව ලැබීමෙන් පසුව විද්‍යාරවින්ද විශ්වවිද්‍යාල පිරිවෙනෙහි දීප්තිමත් ශිෂ්‍යයකු ලෙසය.

අධ්‍යාපනය ලබමින් සිටියදී මහ ප¾ඩිරුවනක් වූ හල්ලමිල්ලගල රජමහා විහාරාධිපති වූ වැලිවැවේ රතනපාල ලොකු හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පසු තමන් පැවිදි වූ විහාරස්ථානයට ආපසු වැඩම කළ අප නාහිමිපාණන්වහන්සේ නව විහාරාධිපති ගල්කඩවල අත්ථදස්සී නාහිමිපාණන් වහන්සේගේ උපදෙස් අනුව හල්ලමිල්ලගල රජමහා විහාරස්ථානයෙන් පාලනය වූ විහාරස්ථානයක් භාර ගැනීමට තීරණය කළහ.

තොරතුරු අධීක්‍ෂණයක
24 හැවිරිදි නව යොවුන් වියේ පසු වූ උන්වහන්සේ පළමුව මේ විහාරස්ථානය සංවර්ධනය කිරීමේ සැලසුම් සැකසුවේ 'දානේ හැන්දකවත්' නොලැබුණු යුගයක දීය.
කුඩා පොල්අතු මඩුවක් වූ මේ විහාරස්ථානය දේවානම්පියතිස්ස රජ සමයේ ඉදිකර ඇත්තේ උතුම් ශ්‍රී මහා බෝ සමිඳු රෝපණය කළ මහමෙවුනා උයනේ උතුරට පිහිටි උත්තර සාලිය රජමහා විහාරස්ථානය නමිනි. අනුරාධපුර රජ කළ කිත්සිරි මෙවන් රජ සමයේ හේමමාලා හා දන්තකුමරු කාලිංග දේශයේ සිට

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩම කරද්දී උත්තර සාලිය රජමහා විහාරස්ථානයේ එක් රැයක් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳවා පුද පූජා පැවැත් වූ බවත් එතැන් සිට මේ විහාරස්ථානය උත්තර සාලිය ශ්‍රී දළදා රජමහා විහාරය නමින් හැඳින්වූ බව ඉතිහාසයේ සඳහන් වේ. අප නාහිමිපාණන් වහන්සේ කැඩී බිඳී විනාශ වී ගිය වැව් බැම්මක් කපා දම්මින් වර්තමාන විහාරස්ථානයේ පිහිටි භූමියේ තිබූ ගල්වළවල් තනිවම පසෙන් පුරවමින් සමතලා භූමියක් බවට පත් කරද්දී ගැමියෝ පන්සලට 'දන්' ගෙන ඒමට පටන් ගත්හ. පළමුව මේ පුණ්‍ය භූමියේ උතුම් වූ

ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුර බෝධීන් වහන්සේ නමක් රෝපණය විය. දෙවනුව ධර්මශාලාව සහිතව ඉදිකළ කුඩා කාමරයක් සංඝාවාසයක් බවට පත් විය. අනතුරුව වර්තමානයේ පවතින දර්ශනීය වූ බුදු මැඳුර දායකකාරකාදීන්ගේ උදවු උපකාර මත ඉදිකළ උන්වහන්සේ මේ වනවිට අංගසම්පූර්ණ සුවිසල් නවීන සංඝාවාසයක් ඉදිකර තිබේ.

දහම් පාසල් පරිශ්‍රය
1970 වසරේ උන්වහන්සේ ඇරඹූ මිහිඳු දහම් පාසල මේ වනවිට දහම් පාසල් දරුවන් දහස ඉක්මවා ඇති අතර සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රැසක් උරුම කර ගෙන තිබේ. පෙර පාසලද ප්‍රදේශයේ ජනප්‍රිය වී තිබේ. ජල නළ, ළිං, විදුලිය ආදී සියලු පහසුකම් සහිත මේ විහාරස්ථානය දුර බැහැරින් අටමස්ථාන වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ නවාතැන්පොළක් බවට පත් කිරීමට අප නාහිමියන් පියවර ගෙන තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරිත්‍රාණ ධර්ම දේශනා ආරම්භ කරනු ලබන්නේ අප නාහිමියන්ය. උන්වහන්සේගේ ගාම්භීර වූද මිහිරි වූද පරිත්‍රාණ ධර්ම දේශනා හේතුවෙන් 'පරිත්‍ර භාණක' ශාසනික සම්මානයෙන්ද පිදුම් ලැබූ උන්වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයකු වශයෙන් ප්‍රසිද්ධයක් උසුලති.

නාහිමියන්ගේ දිවිමඟේ 76 වැනි වියට පා තබද්දී පැවිදි දිවියේ 68 වැනි වියට පත්වේ. දුනුදැමූවැවේ ධම්මාලෝක නාහිමි වහන්සේට තවත් චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනයටත්, රටටත්, ජාතියටත්, උතුම් මෙහෙවරක් සිදු කිරීමේ ශක්තියත්, ධෛර්යයත් නිදුක් නිරෝගී භාවයත් ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමින් 17 වැනි දින මුළු දවස පුරාම විහාරස්ථානයේදී පින්කම් රැසක් පැවැත්වීමට දායක සභාව විසින් කටයුතු සංවිධානය කර තිබේ.

අප ගුරු දේවයන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon