සංගක්කාරටයි මහානාමටයි පෙනෙන්න “එල්” වාට්ටුවයි “චැපල්” වාට්ටුවයි නිදහස් දවසේ ක්‍රිකට් ගහපු හැටි

  👤  3347 readers have read this article !
By mawbima 2018-02-11

ක්‍රීඩා පිටිය සූදානම්ය. කාසියේ වාසිය දිනා ගන්නේ එල්. වාට්ටුවේ ක්‍රීඩකයන්ය. පන්දු රැකීමේ කාර්යයේ නිරත වන්නේ චැපල් වාට්ටුවේ ක්‍රීඩකයන්ය. පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන්නේ එල්. වාට්ටුවේ ප්‍රබල පිතිකරුවාය. 'ආරක්‍ෂාකාරී පියවරක් අනුගමනය කරනවා. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඕවරයක් අවසන්. ආරම්භ වන්නේ දෙවැනි පන්දුවාරය. ඔව් හරවා පහරක් එල්ල කරනවා. පන්දුව කෙළින්ම ඇදී යන්නේ චැපල් වාට්ටුවට ඉහළින්. එල් වාට්ටු පිල පළමු ලකුණු හය ලබා ගන්නවා. ඉතා දර්ශනීය පහරක් සමඟින්...'

මේ තරගයට සහභාගි වන එල්. හා චැපල් වාට්ටු කණ්ඩායම් කවුරුන්දැයි ඔබට පැනනඟින ප්‍රශ්නයයි. ඔබ එසේ කියන්නේ එකී නම්වලින් හැඳින්වෙන ක්‍රීඩා කණ්ඩායම් දෙකක් පිළිබඳව මීට පෙර කිසි දිනක අසා හෝ දැක නොතිබුණු නිසාය. ඔබේ සැකය සාධාරණය. එකී කණ්ඩායම් දෙකේ තරගයක් ඔබ කිසි දිනක දැක නැත. දකින්න ලැබේවි දැයි සිතන්නට පවා නොහැකිය. ඒ එම කණ්ඩායම් දෙක වැලිකඩ බන්ධනාගාර නේවාසිකයන්ගෙන් එහෙමත් නැතිනම් සිරකරුවන්ගෙන් සැදුම්ලත් ක්‍රීඩා කණ්ඩායම් දෙකක් බැවිනි. එකී තරගය පැවැතුණේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය තුළය. ඒ ඉකුත් 04 දින පැවැති 70 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීවය.

තරගය ආරම්භ වන්නේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටා ඇති චැපල් හා එල් යන සිරගතවූවන් රඳවන ගොඩනැඟිලි දෙකක් අතර සීමිත ඉඩකඩකය. තරග විස්තර ප්‍රචාරයේදී චැපල් හා එල් ක්‍රීඩකයන් යනුවෙන් හඳුන්වනු ලැබූයේ එකී වාට්ටු දෙක නියෝජනය කරමින් තරගවදින ක්‍රීඩා කණ්ඩායම් දෙකය.
"ඔව්, ඉතා අවාසනාවන්ත දැවී යෑමක්. මේ අවස්ථාවේ එල් කණ්ඩායමේ දෙවැනි කඩුල්ල දැවී යනවා. කණ්ඩායම දැඩි අසීරු තත්ත්වයකටයි පත්ව තිබෙන්නේ".
විස්තර ප්‍රචාරයක් ගෙන එන්නේද නේවාසිකයෙකි. ඔහු ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකුට නොදෙවැනි යැයි අසා සිටින අයකුට හැඟෙනු ඇත. විස්තර විචාරකයාගේ බස හැසිරීමත් තරගය නරඹන පිරිසගේ ඔල්වරසන් හඬත් එක්ව තිබීම හේතුවෙන් මෙම තරගාවලිය මහා ක්‍රිකට් තරගාවලියක සිරිගෙන තිබේ.

'ලසිත් මාලිංගලා, සනත් ජයසූරියලා වගේ දක්‍ෂ අය මෙහෙ ඉන්නවා කියලා අපි අදනෙ දන්නේ. අපට හිතා ගන්නවත් බැහැ. මේ අයගේ දක්‍ෂතාවන් පිළිබඳව. ඔවුන් සිරගතව සිටීම හරිම අවාසනාවක්'

තරගය නරඹමින් සිටි වැලිකඩ බන්ධනාගාර ජේ‍යෂ්ඨ අධිකාරි චන්දන ඒකනායක මහතාගේ කනට කර ඒ බව පවසන්නේ අන් කවරකුවත් නොව දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශාල ජයග්‍රහණ රැසක් ලබාදුන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වන රොෂාන් මහානාම හා කුමාර් සංගක්කාරය. මේ ප්‍රවීණ හිටපු ක්‍රීඩකයන් දෙදෙනා මෙම තරගාවලියට සහභාගි වන ප්‍රධාන අමුත්තෝය. ඔවුන් පැමිණෙන්නේ වැලිකඩ අධිකාරි ඒකනායක මහතාගේ ආරාධනාවකට අනුවය.

ඔවුන් දෙදෙනාගේ සහභාගිත්වය බන්ධනාගාර සියලු නේවාසිකයන්ට මෙන්ම නිලධාරීන්ටද ලොකු ආඩම්බරයකි. ක්‍රීඩකයකුගේ අගනා පහරක් හා දැවී යෑමක් අතරතුරදී නරඹන්නන් ඔල්වරසන් හඬ නඟන්නේ එම ක්‍රීඩකයන් දෙස බලමිනි.
එම ක්‍රීඩකයන් දෙදෙනාගෙන්ද ඊට ලැබෙන්නේ අගනා සහායකි. නේවාසිකයන් එක්වරක් හුරේ කියන විට රොෂාන්, සංගා දෙපළ දෙවරක් හුරේ දමයි. සැබැවින්ම මෙය ඕනෑම අයකුට නොකා නොබී වුවද බලා සිටිය හැකි තරගාවලියකි. එය ඒ තරම්ම උණුසුම්ය, සුන්දරය.

ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් නෙවෙයි. විවිධ ක්‍ෂේත්‍රවල දක්‍ෂතා තියෙන නේවාසිකයෝ මේ බන්ධනාගාරයේ සිරගත වෙලා ඉන්නවා. මම ඒ අයව හඳුනාගෙන තියෙනවා. මගේ එකම බලාපොරොත්තුව ඒ අයගේ හැකියාවන් එළියට ගැනීමයි. ඔවුන්ට හොඳ පුනරුත්ථාපනයක් ලබාදීලා ඔවුන්ගේ මානසික සුවය ඇති කිරීම මගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා පසුගිය කාලයේදීද මම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඔබ දෙදෙනාට මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කළේ ඒ නේවාසිකයන්ගේ යහපත වෙනුවෙනුයි. වැලිකඩ අධිකාරි ඒකනායක ඒ බව කීවේ රොෂාන් හා සංගාටය.
ඔබ අපට කළ ආරාධනය පිළිබඳ අපට හරි සතුටුයි. මෙවැනි දක්‍ෂයන් දැකීමත් සතුටක්. මේ තරගය මේ තරම්ම උණුසුම් හා සුන්දර වෙයි කියා අප සිතුවේ නැහැ. ඉදිරියේදීත් අපි මේ දක්‍ෂතා බලන්න බන්ධනාගාරයට එනවා. ඔවුන් සමඟ තරග වදින්නත් එනවා. ඉදිරියේදී අපේ උපරිම සහාය දෙනවා.
සංගක්කාර හා රොෂාන් අධිකාරි ඒකනායක මහතාට දුන් ඒ බලාපොරොත්තු පිළිබඳ අධිකාරිවරයාට දැනුණේ විශාල සතුටක් බව ඔහුගේ මුහුණේ ඉරියව්වලින් පෙනෙයි.
දැන් එළැඹ තිබෙන්නේ පන්දු ඕවර් හයකින් යුත් ක්‍රිකට් තරගාවලියේ අවසන් අදියරටය. පළමුව පන්දුවට පහරදුන් එල් වාට්ටු කණ්ඩායම පරදවා සිය ජයග්‍රහණය අත්පත් කරගැනීමට චැපල් කණ්ඩායමට අවශ්‍යව ඇත්තේ ලකුණු 26කි. සිය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු රැස් කිරීම සඳහා මුලින්ම ක්‍රීඩා පිටිය වෙත පැමිණෙන්නේ චැපල් කණ්ඩායමේ නායක සුදාය. සුදා මරණීය දණ්ඩනය ලත් අයෙකි. ඔහුගේ දක්‍ෂතාවන් තරගය පුරාම දක්නට ලැබිණි.
කණ්ඩායමේ ක්‍රීඩකයන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සුදාගෙන් ඉටුවූ මෙහෙය අගනේය. සුදා සිය දස්කම් පෙන්වූයේ ඔවුන් රඳවා සිටින චැපල් හා එල් ගොඩනැඟිලිවලට ඉහළින් දැවැන්ත හයේ සහ හතරේ පහරවල් එල්ල කරමිනි.

ඔව් සුදාගෙන් දැවැන්ත තවත් හයේ පහරක් සමඟ චැපැල් කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනා ගන්නවා.
විස්තර විචාරකයාට කියන්න ලැබුණේ එපමණකි. ජයග්‍රහණයෙන් උද්දාමයට පත් චැපල් ක්‍රීඩක නේවාසිකයන් ඔවුන්ගේ නායක සුදාව වැලඳ ගත්තේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනියන්නට ඔහු දැක්වූ විශිෂ්ට දක්ෂතාව නිසාවෙනි.
ඉන් නොනැවතුණු ජයග්‍රාහී නේවාසිකයන් පිරිස 'අපේ රොෂාන් මහත්තයාට ජයවේවා, සංගක්කාර මහත්තයාට ජයවේවා, අපේ අධිකාරිතුමාට ජයවේවා' යැයි ඔල්වරසන් දෙන්නට වූහ.

'සිරකරුවෝද මනුෂ්‍යයෝ' බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආදර්ශ පාඨයයි. එය බන්ධනාගාරය ඉදිරිපිට සවිකර ඇති හුදෙක් වචන පුවරුවක් පමණක් නොවේ.
එම වචන බෝඩ් ලෑලිවලට පමණක් සීමා නොකර එම සිරකරුවන්ගේ සැබෑ නිදහස පුනරුත්ථාපනය වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කිරීම ඉතා වටිනා අදහසකි. මෙවැනි වැඩසටහන් රැසක් ඉකුත් දිනවල වැලිකඩ බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වන අයුරු දක්නට ලැබිණි. මේ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ, වැලිකඩ බන්ධනාගාර චීප් ජේලර් මොහාන් කරුණාරත්න යන මහත්වරුන් මේ කාර්යයට වෙහෙස මහන්සි විය. මෙම වැඩපිළිවෙළේ නියමුවා වන්නේ වැලිකඩ බන්ධනාගාර ජේ‍යෂ්ඨ අධිකාරි චන්දන ඒකනායක මහතාය. මරණීය දණ්ඩනය ලත් සිරකරුවකු පසුගිය දිනවල පශ්චාත් උපාධියක් ලබාගත් බව මතකය. බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය නොවන්නට එම පුද්ගලයාට එම අවස්ථාව ලැබෙන්නේ නැත. බන්ධනාගාර රැඳවූවන්ගේ මානසික සුවය සකස්කරන්නට බන්ධනාගාර නිලධාරීන් ගන්නා උත්සාහය හා කැපවීම අගය කළ යුතුය. එය හුදෙක් එක වචනයකින් කියා අවසන් කළ නොහැකි ඇගැයීමක් බව බන්ධනාගාර භූමියේ රැස්ව සිටින ක්‍රීඩා රසයෙන් ඇලළීගිය රැඳවූවන්ගේ මුහුණින් කියැවෙන කතාවයි.

මෙම නිදහස් උත්සවයට සමගාමීව එදින පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ "ළමා සුරැකුම්" මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක්ද පැවැත්විණි. එය විවෘත වුණේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා අතිනි. මේ අවස්ථාවට රොෂාන් මහනාම හා කුමාර් සංගක්කාර යන මහත්වරුන්ද සහභාගි වූහ.

කුමුදු උපුල් ශාන්ත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon