මිත්‍ර යතිවර බෙල්ලන්විල හිමියනි යුගාන්තය තෙක් සුව නින්දක් පතමි

  👤  3251 readers have read this article !
By mawbima 2018-02-11

මහාචාර්ය ගරු බෙල්ලන්විල විමලරතන තෙරණුවන්ගේ හදිසි වියෝවෙන් සාමය, සංහිඳියාව හා සහජීවනය වෙනුවෙන්, පතාක යෝධයකු මෙන් පෙනී සිටි බුද්ධ පුත්‍රයෙක් බෞද්ධ ශාසනයට නැති විය. අපේ රටට ඉතාමත් වටිනා පැවිදි හිමිනමක්, ප¾ඩිරුවනක් නැතිවිය. අපට ඉතා පෞද්ගලික මිත්‍රයෙක් නැතිවිය.

මා එතුමන් ඇසුරු කළ කාලය තුළ එතුමන්ගේ ගති ස්වභාවය, තපෝ ගුණය හඳුනා ගන්නට ප්‍රමාණවත්ය. ඉතා සෘජු, නිර්භය, කිව යුතු දේ මුහුණට කියන, කිසිම කෙනකුට ගැති නැති, කෙළින් වැඩ කරන යතිවරයකු ලෙස මා එතුමන් හඳුනාගෙන තිබිණි. එතුමා මට ඉතා කුළුපගය. සහෝදරයකු බඳුය. එතුමන් සමඟ එක්ව ගිය මෙරට පිටරට ගමන් වාර, එතුමන් හා එක්ව කළ සංවාද අපේ දැනුම වඩවන්නට මහෝපකාරී විය. මා දළුගම මීසම භාරගත් දිනයේදී බෙල්ලන්විල හාමුදුරුවෝ එම උත්සවයට පැමිණ කතාවක් පැවැත්වූවේ සැබෑ සහෝදරයකු ලෙසයි. එතුමන් සමඟ ඉන්දියාවේ පැවැති අන්තර් ආගමික සම්මන්ත්‍රණයකට සහභාගි වූ අවස්ථාව මට අමතක නොවේ. එයට හේතුව උන්වහන්සේ සම්බන්ධතාව, මිත්‍රත්වය වැඩවලට පමණක් සීමාකර ඉන් පසු පුද්ගලයන් අමතක කරන වර්ගයේ යතිවරයකු නොවන නිසාය. සති දෙකකට පෙර මා හමුවී සැපදුක් විචාරන්ට කතෝලික මුද්‍රණාලයට පැමිණි උන්වහන්සේව මට සිහියට නැඟේ.

නොයෙකුත් වරදාන වෙනුවෙන් තමන්වම කඩේ යවන පුහුදුන් මිනිසුන් සිටින අද වැනි යුගයක, සමාජයක, ලාභ, වරදාන, ප්‍රතිලාභ වෙනුවෙන් තමාගේම නම්බුව, හොඳ නම, විකුණා කන මිනිසුන් අතර, අභීත සෙන්පතියකු විලසින් සිටියේ එතුමාය.

තම අධිකාරි බලයෙන් අන් අය මෙල්ල කර ගැනීමේ හා තම අදහස්වලට සාධනීය ලෙස නම්මවා ගැනීමේ කුසලතාවයෙන් පිරි එතුමන් වැනි යතිවරයන්, වියතුන් සිටිය යුතු අද වැනි යුගයක අනපේක්‍ෂිත මොහොතක සිදුවූ එතුමන්ගේ නික්ම යෑම, ඇති කළ හිඩැස කවුරුන් විසින්වත් පිරිමැසිය නොහැකිය. පුරවාලිය නොහැකිය.
ගෞරවාර්හ විමලරතන හිමි අන්තර් ආගමික සබඳතා හා ජාතීන් අතර තිබිය යුතු අනේ‍යාන්‍ය අවබෝධය ඇති කිරීමෙහිලා සක්‍රියව උරදුන් යතිවරයෙකි. එමෙන්ම සුහදත්වයෙන් සෙසු ආගමිකයන් සමඟ එක්ව කටයුතු කිරීමේ මහා හැකියාවක් ප්‍රදර්ශනය කළ එතුමා කතෝලික / ක්‍රිස්තියානි පූජක සංඝය සමඟත්, විවිධ නිකායවලට අයත් පැවිදි සංඝය සමඟත් පුහුමානයට, ප්‍රචාරයට නොව හැබෑවටම, හෘදයාංගවම එක්ව කටයුතු කළ ආකාරය මම නිරීක්ෂණය කර ඇත්තෙමි.
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ ඉතා සමීපව කටයුතු කළ එතුමාගෙන් අවවාද අනුශාසනා, ගුරු උපදෙස් පතාගෙන පැමිණි විවිධ තරාතිරමේ පුද්ගලයන්, දේශපාලනඥයන් සමඟ 'තිත්ත ඇත්ත' කතා කරන්නට එතුමා පැකිළුණේ නැත. එවැනි අභීත, උදාර යතිවරයන් හිඟ යුගයක එතුමන්ගේ නික්ම යෑම පිරිමැසිය නොහැකි පාඩුවකි.

ජීවිතය කියන්නේ මෙයටය. අප කවර තරාතිරමක සිටියත්, ඒ සියල්ල අතහැර යන්නට දිනයක් පැමිණේ. ලෝක ස්වභාවය ඒකය.
යතිවරයකු, ප¾ඩිවරයකු වුව, ප්‍රාඥයකු හා වියත් ලේඛකයකු වුව, කිසියම් කෙනකුට ප්‍රශ්නකාරී ආගමික ඉගැන්වීමක් ඉතාමත් සරලව, තේරුම් ගන්නට හැකි ලෙස පහදා දීමේ සහජ හැකියාවක් තිබූ එතුමා, සියල්ලට වඩා සැබෑ මිනිසකු විය. මේ නිසා එතුමන් ඇසුර ලැබූවන්ට හිත හොඳ මිනිසකු, සගයකු නැතිවිය.
ඉතින් මිත්‍ර යතිවර සගයාණෙනි, ඔබට යුගාන්තය තෙක් සුව නින්දක් පතමි. සියලු ආශා අත්හළ පරම සන්තුෂ්ටිය විඳින්නට මොක්සුව විඳින්නට ඔබට හැකිවේවා!

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon