සභිකයො කවුද කියලා කියන්න දවස් ගණනක් යාවි

  👤  3002 readers have read this article !
By mawbima 2018-02-11

පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට දින නියම වූ පළාත් පාලන මැතිවරණය මෙරට ඉතිහාසයේ විශාලතම මැතිවරණය ලෙස සැලකෙයි. වැඩිම ඡන්දදායකයන් ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටීම, උතුර ඇතුළු සමස්ත දිවයිනේම දිගු කාලයකට පසුව මැතිවරණයක් එකවර පැවැත්වීම විශාලතම මැතිවරණය වීමට මූලික හේතු වෙයි.
පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්දදායකයෝ එක්කෝටි පනස් හත් ලක්‍ෂ හැටදහස් හත්සිය හැත්තෑ එකක් (1,57,60,771) ලියාපදිංචි වී සිටිති. ඔවුන්ගෙන් පන් ලක්‍ෂ පනස් නව දහස් අටසියය හැට දෙකක් (5,59,862) තැපැල් ඡන්ද අපේක්‍ෂකයෝය.

මහ නගර සභා 24ක්, නගර සභා 41ක්, ප්‍රාදේශීය සභා 276ක් ලෙස පළාත් පාලන ආයතන 341ක ඡන්ද විමසීමට නියමිතව තිබිණි. ඒ බහු සභික කොට්ඨාස ඇතුළු පළාත් පාලන මැතිවරණ කොට්ඨාස 4919කින් මන්ත්‍රිවරු 5092ක් තෝරා පත්කර ගැනීම සඳහාය. සියයට 40ක් සමානුපාතික මට්ටමින් තෝරා ගැනෙන මන්ත්‍රිවරුන් ඇතුළුව මන්ත්‍රිවරුන් 8293 දෙනකු තෝරා පත්කර ගැනීමට නියමිතය.

ඒ සඳහා අපේක්‍ෂක අපේක්‍ෂිකාවෝ 57,252ක් දේශපාලන පක්‍ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් තරග කරති.
(ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය අධිකරණ නියෝගයක් අනුව කල් යෑම නිසා මේ සංඛ්‍යාව සුළු වශයෙන් වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.)
පෙබරවාරි 10 වැනිදා පෙ.ව. 7 සිට ප.ව. 4. දක්වා ඡන්ද විමසීමෙන් පැයකට පසුව ඡන්ද ගණන් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු සම්පාදනය කර තිබිණි. ඒ පළාත් පාලන ඡන්ද විමසීම් පනතෙහි 9 උප ලේඛනය හා 18 සිට 28 දක්වා වගන්ති ප්‍රකාරවයි.
දිවයින පුරා පිහිටි ඡන්ද කොට්ඨාසවලට අයත් ඡන්ද මධ්‍යස්ථාන 13,420කදී සිදු කරනු ලබන ඡන්ද විමසීම සම්බන්ධ අවසන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු අද (11දා) පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීම මැතිවරණ කොමිසමේ අපේක්‍ෂාවයි.

ඡන්ද ගණන් කිරීම, ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ඇතුළු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැක්වූ අදහස් මෙබඳුය.
මෙවර ඡන්දය ගණන් කරන ආකාරය ගැන දැන ගන්න කැමැතියි?

මේ ඡන්ද විමසීමේදී පසුගිය මැතිවරණවලදී සිදුකළ පරිදි ඡන්ද ගණන් කිරීම මධ්‍යගතව එනම් දිස්ත්‍රික් මූලස්ථානයකදී සිදු කරන්නේ නැහැ. සියලුම පළාත් පාලන ආයතන කොට්ඨාසවලට වෙන්කර තිබෙනවා. ඒ කොට්ඨාසයක් ඡන්ද මධ්‍යස්ථාන එකකින් හෝ කිහිපයකින් සමන්විතයි. ඒ ඒ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් ඡන්ද ගණන් කරන නමුත් ආරක්‍ෂක හේතු හෝ යටිතල පහසුකම් පිළිබඳ කරුණු මත බොහෝ අවස්ථාවල කොට්ඨාසයේ පිහිටි ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථාන පරිශ්‍රයේදී එම කොට්ඨාසයේ සියලුම ඡන්ද ගණන් කරනු ලබනවා.

කොට්ඨාසයේම ප්‍රතිඵල පමණද කියන්නේ? නැත්නම් ඡන්ද මධ්‍යස්ථාන මට්ටමේ ප්‍රතිඵලත් කියනවාද?

ඡන්ද මධ්‍යස්ථානවල ඒ ඒ දේශපාලන පක්‍ෂ හෝ ස්වාධීන කණ්ඩායම ලබා ගත් ඡන්ද සංඛ්‍යාව වෙන වෙනම ගණන් කරනවා. ඒ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ප්‍රතිඵලය ලෙස ප්‍රකාශ කිරීමටයි.

තැපැල් ඡන්ද ගණන් කරන්නෙ කෙසේද?

ප්‍රකාශිත තැපැල් ඡන්ද පත්‍රිකා කොට්ඨාස මූලස්ථානය වූ ඡන්ද මධ්‍යස්ථානයේදී ගණන් කරනවා.

තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙන වෙනම කියනවාද?

මෙහෙමයි. තැපැල් ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 50කට අඩු අගයක් ගනීනම් තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්දයේ රහස්‍යභාවය සුරැකීම සඳහා එම ඡන්ද පත්‍රිකා ගණන් කරනු ලබන්නේ එකී ඡන්ද මධ්‍යස්ථානයේ සාමාන්‍ය ඡන්ද හිමියන්ගේ ඡන්ද පත්‍රිකා සමඟ මිශ්‍ර කිරීමෙන් පසුවයි. එවැනි විටෙක තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරෙන්නේ නැහැ. ඒත් තැපැල් ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 50ට වඩා වැඩි නම් එම තැපැල් ඡන්ද පත්‍රිකා ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දය ගණන් කරන පරිදි වෙන වෙනම ගණන් කරනවා.
ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන ආකාරය කෙබඳුද?

ඒ ඒ කොට්ඨාසයට අදාළ සියලුම ඡන්ද මධ්‍යස්ථානවල තැපැල් ඡන්ද ඇතුළු සියලු ඡන්ද පත්‍රිකා ගණන් කොට එහිදීම වගු ගත කරනවා. ඒ කියන්නේ දේශපාලන පක්‍ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ගණනය කරනවා. කේවල කොට්ඨාසයක් හෙවත් එක් සභිකයකු තෝරා පත්කර ගන්නා කොට්ඨාසයක් නම් එම කොට්ඨාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් දේශපාලන පක්‍ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ අපේක්‍ෂකයා එකී කොට්ඨාසයේ නියෝජිතයා ලෙස කොට්ඨාස මූලස්ථාන ඡන්ද මධ්‍යස්ථානයේදීම ප්‍රකාශයට පත් කරනවා. එසේම බහු සභික කොට්ඨාසයක් වන විටදී අවස්ථානෝචිතව වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් පක්‍ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ අපේක්‍ෂකයන් දෙදෙනා හෝ තිදෙනා එම කොට්ඨාසයේ නියෝජිතයන් ලෙස පෙරසේම ප්‍රකාශයට පත් කරනවා.

එතකොට පළාත් පාලන ආයතනයේ ප්‍රතිඵල නිකුත් කරන්නේ කෙසේද?


ඒ ඒ ඡන්ද කොට්ඨාසවල ප්‍රතිඵල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි කාර්යාලයට කිහිප ආකාරයකින්ම එවනු ලැබීමට හෝ රැගෙන යෑමට අවශ්‍ය කටයුතු සංවිධාන කරලා තියෙනවා. එම කොට්ඨාස මට්ටමේ ප්‍රතිඵල තේරීම් භාර නිලධාරි කාර්යාලයේ පිහිටුවා ඇති ප්‍රතිඵල වගුගත කිරීමේ මධ්‍යස්ථානයේදී වගු ගත කිරීමෙන් අනතුරුව ඒ ඒ පළාත් පාලන ආයතනය සඳහා දේශපාලන පක්‍ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව ගණනය කරනු ලබනවා. එම ඡන්ද සංඛ්‍යාවල මුළු එකතුව, සභාවේ මුළු සභික සංඛ්‍යාවෙන් බෙදීමෙන් ලැබෙන තීරක අගය අනුව දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව එම දේශපාලන පක්‍ෂයට, ස්වාධීන කණ්ඩායමට හිමි සභික සංඛ්‍යාව ගණනය කරනවා. එම ගණනය කිරීම්වල නිරවද්‍යතාව මැතිවරණ කොමිෂන් සභාව විසින් සනාථ කිරීමෙන් අනතුරුව තේරීම් භාර නිලධාරි විසින් එම පළාත් පාලන ආයතනයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කෙරෙන අතර එම සැණින් එකී ප්‍රතිඵලය ජනමාධ්‍යවලටත් නිකුත් කරනවා. අනුමත නොකරන ලද හෙවත් නිල නොවන ප්‍රතිඵලය විද්‍යුත් හෝ සමාජ ජාල මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටින ලෙස අපි සියලුම නීතිගරුක පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කාන්තා නියෝජනය 25% පවත්වා ගන්නේ කොහොමද?

ඒකට මැතිවරණ කොමිසමට මැදිහත් වෙන්න වෙනවා. වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගත් පක්‍ෂයට හෝ කණ්ඩායමට වැඩිපුර කාන්තාවන් පත් කරන්න වේවි. පළාත් පාලන ආයතනයක් සඳහා කාන්තා සංඛ්‍යාව නියෝජනය 25%ක් ලෙස පනතේ දැක්වෙනවා. ඒක සියලුම පක්‍ෂවලින් තෝරා ගත හැකියි.

සියලුම සභික සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරන්නේ කෙසේද?

සභිකයො කවුද කියන එක ප්‍රකාශයට පත් කරන්න දවස් ගණනක් යාවි. ඒක පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුව වගෙයි. පළාත් සභාවක නම් ප්‍රසාද මන්ත්‍රිධුර වගෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon