තත්පර ගණනක අභිනයකින් ලෝකයම රත් කරපු කවුද මේ බි්‍රගේඩියර්

  👤  3644 readers have read this article !
By mawbima 2018-02-11

මාවිල්ලාරු සොරොව්ව වසා දැමීමත් සමඟ සිවුවැනි ඊළාම් යුද්ධය ආරම්භ විය. වර්ෂ 2007 අප්‍රේල් මාසයේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ හදවත බඳු වැලිඔය මහ කැලය අත්පත් කර ගැනීම සඳහා 59 වැනි සේනාංකය දැවැන්ත මෙහෙයුමක් දියත් කරන ලදී.
ඒ එහි සේනාධිපති බි්‍රගේඩියර් නන්දන උඩවත්ත සහ බළසේනාධිපති කර්නල් අරුණ ආරියසිංහගේ මෙහෙය වීමෙනි.
වැලිඔය මහ කැලයේ බලය යුද හමුදාව සතු කර ගැනීම සඳහා 14 වැනි සිංහ රෙජිමේන්තුව සහ 11 වැනි ගැමුණු හේවා බළඇණියට වැඩි වගකීමක් පැවරී තිබිණි.
එම මහ වනාන්තරයේ කඳු මුදුනක එල්ටීටීඊයේ සන්නිවේදන මධ්‍යස්ථානයක් ඉදිකර තිබිණි.
එම සන්නිවේදන මධ්‍යස්ථානයද ශ්‍රී ලංකා යුද හමුදාවට විශාල හිසරදයක්ව පැවැතිණි.

එල්ටීටීඊයේ නාඩි ව්‍යුහය බඳු වූ මෙම සන්නිවේදන මධ්‍යස්ථානය නතු කර ගැනීමට එදා නියෝග ලැබුණේ 11 වැනි ගැමුණු හේවා බළ ඇණියටයි.
එම බළඇණිය සතුව නවදෙනකුගෙන් යුක්ත වූ කුඩා කණ්ඩායම් කිහිපයක් විය.
දක්ෂ වෙඩික්කරුවකු, දක්ෂ ස්නයිප කරුවකු, දක්ෂ මැෂින්ගන්කරුවකු, දක්ෂ ට්ර්ථීඉ තාක්ෂණකරුවකු, දක්ෂ ගුවන් විදුලි පණිවුඩකරුවකු, දක්ෂ වෛද්‍ය සෙබළකු යනාදී සෙබළ කණ්ඩායමකින් මෙම කුඩා කණ්ඩායම සැකසී තිබිණි.

යුද්ධය අවසන් කිරීමේ අරමුණින් විශේෂ පාබළ ක්‍රියාන්විත කණ්ඩායම් (ඉධ්ර්ණීඊ) රැසක් මෙලෙස එම වකවානුවේ බිහි කරනු ලැබීය.
2007 වර්ෂයේ අප්‍රේල් මස එක් රාත්‍රියක වැලිඔය මහ කැලයේ උපන් දින සාදයකි. මහ ගන වනාන්තරය තුළ රහසිගත කඳවුරක් තුළ මෙම උපන් දින සාදය මහ ඉහළින් සැමරිණි. එදින ලුතිනන් සමරනායකගේ උපන් දිනය විය.

මෙම උපන් දින සාදයට බළසේනාධිපති කර්නල් අරුණ ආරියසිංහගේ පැමිණීමද හමුදා සෙබළුන් දැඩි සන්තෝෂයකට පත්වන කරුණක් විණි.
මධ්‍යම රාත්‍රිය වන තෙක් උපන් දින සාදය පැවැතිණි. ඒ වන විටත් ධ්ධ් වැනි ගැමුණු හේවා බළඇණියේ අණ දෙන නිලධාරියා තම කණ්ඩායම එළිය වැටීමට පෙර සන්නිවේදන මධ්‍යස්ථානය අත්පත් කර ගැනීමේ මෙහෙයුමට එක් කර ගන්නා ආකාරය ගැන සැලැසුම් කරමින් සිටියේය.
උපන් දින සාදය පැවැත්විණි. සියල්ලෝම අණදෙන නිලධාරිවරයාගේ නියමය අනුව ස්වකීය ඉලක්කය වෙත ගමන් ආරම්භ කළහ.
'සර්, මට සැලැසුමක් තියෙනවා. සර් කට්ටිය අරන් ඉස්සරහට එන්න. මම ඉලක්කෙට තනිවම යනවා' පෙර දින උපන් දින කුමරා වූ ලුතිනන් සමරනායක අණදෙන නිලධාරිවරයාට පැවැසුවේය.

විනාඩි කිහිපයකින් ඇසුණේ බට්ටෙකු පිපිරෙන හඬය.
බට්ටා පෑගුණේ කාටද? සියල්ලෝම විමසිල්ලෙනි.
සන්නිවේදන මධ්‍යස්ථානය අසල පිහිටි එල්ටීටීඊ කඳවුර පුපුරවා හැරීමට ක්ලෝමෝ බෝම්බයක් අතැතිව ගිය ලුතිනන් සමරනායක බිම් බෝම්බයකට දිවි පුදා ඇති බවට තොරතුරක් අණදෙන නිලධාරියාට ලැබිණි. පෙර දින රාත්‍රියේ උපන් දිනය සතුටින් සැමරූ ලුතිනන් සමරනායකගේ කෑලිවලට කැඩුණු ශරීර කොටස් ගෝනියකට දමා ගෙන කඳවුර වෙත රැගෙන ඒමට සහෝදර භට පිරිස් ක්‍රියා කළහ. ලුතිනන් සමරනායක යනු කණ්ඩායමේ සිටි අති දක්ෂ ට්ර්ථීඉ තාක්ෂණ නිලධාරියාය.
මෙහෙයුමේ නිරත අණදෙන නිලධාරිවරයා ඇතුළු සෙසු භට පිරිස් ලුතිනන් අමරනායකගේ වියෝ දුකද සහිතව සතුරාට පහර පිට පහර දෙන්නට වූහ.
සතුරාද යුද හමුදා කණ්ඩායම් වෙත දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

පුරා පැය දහයක ගැටුමකින් පසු 11 වැනි ගැමුණු හේවා බළඇණිය එල්ටීටීඊයේ මර්මස්ථානයක් වූ සන්නිවේදන මධ්‍යස්ථානය අත්පත් කර ගැනීමට සමත් වූහ.
ගැටුමින් එල්ටීටීඊයේ සාමාජිකයන් 18 දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වූ අතර යුද හමුදා ලුතිනන් සමරනායක දිවිපුදා තවත් සෙබළුන් 11 දෙනකු තුවාල ලැබූහ.
එම ගැටුමේ ප්‍රතිඵල ලෙස අණදෙන නිලධාරිවරයාගේ සහායකයා වූ ලාන්ස් කෝප්‍රල් කුමාර අද වන විටත් පාද දෙක සහ එක් අතක් අහිමිව ජීවත් වන්නේය.
මීට වසර 11කට ඉහතදී මෙම සටනට නායකත්වය ලබා දුන් අණදෙන නිලධාරිවරයා වෙන කවුරුත් නොව බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුය.
ඔහුව මේ වන විට නොදන්නා කෙනෙක් නැත. මේ දිනවල ෆේස්බුක්හි ජනප්‍රිය පුද්ගලයා වන්නේද බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුය.
බි්‍රතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පෙබරවාරි 4 වැනි දින පැවැති නිදහස් දින සැමරුම් උත්සවයකට විරෝධය පෑමට පැමිණි එල්ටීටීඊ හිතවාදීන්ට බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ප්‍රකාශ කළ අභිනයක් මුල් කර ගනිමින් විශාල කථිකාවක් ගොඩනැඟිණි.
එම හැඟීම් ප්‍රකාශනය සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ පළ වූ වීඩියෝ දර්ශන සහ ඡායාරූප පදනම් කර ගනිමින් ඇතැමුන් බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හට මල්මාලා පැලඳවීය. සමහර පිරිස් ඔහුගේ ක්‍රියාව හෙළා දකිමින් කටයුතු කළහ.
මෙ සිද්ධිය ඇතුළත් වීඩියෝ දර්ශන අධ්‍යානය කළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ බලධාරීහු ඉකුත් 06 වැනි දින බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හෙබවූ බි්‍රතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරෙන් ඔහුව ඉවත් කිරීමට කටයුතු කළහ.
කෙසේ වෙතත් මෙම පුවත ආරංචි වූ සැණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය පැනවූ තහනම නැවත ඉවත් කරනු ලැබීය.
මෙම රණවිරුවා රැක ගැනීම සඳහා වත්මන් හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි පෙළ ගනිමින් කටයුතු කළ ආකාරය දක්නට ලැබිණි.
එල්.ටී.ටී.ඊ. අවතාර තවමත් බි්‍රතාන්‍යයේ රැකවල්ලාගෙන සිටිමින් බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එරටින් එළවීමේ කුමන්ත්‍රණයක නිරත වෙමින් සිටිති. එම අවතාර පිටුපස ඩයස්පෝරාවද සිටින බව අමතක නොකළ යුතුය.

වර්ෂ 1966 දෙසැම්බර් 09 වැනි දින ඒ.සී.එස්. ප්‍රනාන්දු සහ මාලිනි ප්‍රනාන්දු මහත්මියට දාව උපන් ඇන්ඩිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
වැඩිමහල් සහෝදරයෙක්, වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරයෙක් සිටින ප්‍රියංක ප්‍රනාන්දු කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් පෑ කොලු ගැටයෙකි. ඔහුගේ වැඩිමහල් සහෝදරියගේ ස්වාමි පුරුෂයාද බි්‍රගේඩියර්වරයෙකි. බාල සහෝදරයාද නෞකා කපිතාන්වරයෙකි.

ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ ආර්.අයි.ටී. අලස් ගුරු පියාණන්ගේ පුත්‍රයෙක් වූ මලික් අලස් බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ පන්ති සගයෙකි. මලික් අලස් ක්‍රිකට් පුහුණුවීමකදී සිදුවූ හදිසි අනතුරකින් මිය ගියේය.

ලෝකයක් දිනූ ක්‍රිකට් තරු වූ අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න යන ක්‍රිකට් ප්‍රවීණයන්ද බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ සමකාලීනයන්ය.
ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙමින් ප්‍රියංක ප්‍රනාන්දු ශිෂ්‍යත්වයක් ලබා වර්ෂ 1984දී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. ඉන් ඉක්බිති මෙරටට පැමිණි ප්‍රියංක ප්‍රනාන්දු වර්ෂ 1985 ඔක්තෝබර් 27 වැනි දින කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූයේය.
54 දෙනකුගෙන් යුතු එම නව කණ්ඩායම දියතලාව යුද හමුදා කඳවුරෙන් මූලික පුහුණුවීම් ලැබ වැඩිදුර පුහුණුවීම් සඳහා පාකිස්තානය බලා පිටත්ව ගියේය.
වසරකුත් මාස පහක කාලයක් පුහුණුවීම් කටයුතු සිදුකර අවසන් වූ ප්‍රියංක ප්‍රනාන්දු එවක කර්නල්, විශ්‍රාමික, මේජර් ජෙනරාල් වසන්ත පෙරේරා නායකත්වය හෙබවූ 5 වැනි ගැමුණු හේවා බළඇණියට සම්බන්ධ වූයේය.
වර්ෂ 1990 වනවිට දෙවැනි ඊළාම් යුද්ධය ආරම්භ විය. එල්.ටී.ටී.ඊ.ය විසින් ත්‍රිකුණාමලය, මුතූර්හිදී කමාන්ඩෝ සෙබළුන් ප්‍රාණ ඇපයට ගෙන ඇති බවට වාර්තා විය. ඔවුන් බේරා ගැනීම සඳහා විශේෂිත මෙහෙයුමක් දියත් විය.
ඒ මේජර් සරත් ප්‍රනාන්දු සහ මේජර් අජිත් සෙනවිරත්න යන දෙදෙනාගේ නායකත්වයෙනි. ඊට මඟ පෙන්වනු ලැබුවේ කමාන්ඩෝ බළකායේ මේජර් චන්ද්‍රසේන විසිනි.
වර්ෂ 1991 ජූලි මස 01 වැනි දින කමාන්ඩෝ සෙබළුන් බේරා ගැනීමේ මෙහෙයුම දියත් විය. උපායශීලීව යුද හමුදා භට පිරිස් මුහුදු මාර්ගයෙන් අදාළ ප්‍රදේශයට ළඟා වූහ.
එවක ප්‍රියංක ප්‍රනාන්දු ලුතිනන්වරයකු ලෙස ක්‍රියා කළ අතර මෙම බළඇණිය එල්.ටී.ටී.ඊ.යෙන් තුවාල වූ කමාන්ඩෝ සෙබළුන් 30ක් පමණ මුදා ගෙන නිරුපද්‍රිතව රැගෙන ඒමට කටයුතු කළේය.

එල්.ටී.ටී.ඊ.ය විසින් කමාන්ඩෝ සෙබළුන් 40ක් පමණ ඝාතනය කර ඔවුන්ගේ සිරුරුද රැගෙන ගොස් තිබිණි. ලුතිනන් ප්‍රියංක ප්‍රනාන්දු හට 1990 වර්ෂයේ ඔක්තෝබර් වනවිට ත්‍රිකුණාමලයේ සිට නැවත යාපනයට යෑමට සිදුවන්නේ එම ප්‍රදේශයේ යුද්ධය තීව්‍ර වීම නිසාය.
මෙම කාල සීමාවේ කිලිනොච්චිය කඳවුරේ භටයන් 130 දෙනකු ප්‍රාණ ඇපයට ගැනීමට එල්.ටී.ටී.ඊ.ය සූදානම් වන බවට ලද දැනුම් දීමකට අනුව ලුතිනන් ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු හයසියයකින් යුත් බළඇණියක් යාපනයට පැමිණියහ.

එම බළඇණිය පිළිගැනීම සඳහා පැමිණියේ හිටපු යුද හමුදාපති එවක යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන මාණ්ඩලික ක්‍රියාන්විත නිලධාරි මේජර් ක්‍රිෂාන්ත ද සිල්වා සහ 'බලවේගය' මෙහෙයුමේදී දිවි පිදූ මේජර් ඇන්ජලෝ පීරිස්ය.

ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ උපදෙස් පරිදි යාපනය අර්ධද්වීපයට එවනු ලැබූ මෙම බළඇණිය කිලිනොච්චි කඳවුර බේරා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කළහ.දින හතක් ඇතුළත කිලිනොච්චි කඳවුර බේරා ගත යුතු බවට නියෝග ලැබ තිබූ අතර ලුතිනන් ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු භට පිරිස් පලාලි සිට හෙලිකොප්ටර් දහයකින් අලිමංකඩ වෙත ගොඩබස්වනු ලැබූහ. එම ප්‍රදේශයේ යුද්ධය දරුණුවට පැවැතීම හේතුවෙන් කිලිනොච්චිය කඳවුර සතු පතරොම්ද අවසන් වන බවට දැනගත් නිසා මෙට්ට කෑලිවලට පතරොම් ඔබ්බවා ගුවනින් කඳවුර වෙත එම පතරොම් හෙළා තිබිණි.

කඳවුරේ භට පිරිසද එම වෙඩි බලයෙන් කඳවුර සතුරාට අත්පත් කර නොදී රැකගෙන සිටියහ.
ලුතිනන් ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු භට පිරිස් ඉතා සූක්ෂ්ම ලෙස කඳවුරේ බලය රැක දෙමින් සතුරාට පහරදී කඳවුර වෙත ඇතුළු වූහ. කඳවුර මුදා ගැනීමට සැලසුම් කළ දින හතටත් ප්‍රථමයෙන් මෙහෙයුම නිමා විය. ලුතිනන් ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායම මරණය නියම වී සිටි හමුදා භට කණ්ඩායමකට ජීවිතය දුන්හ.
මේ ගමනේදී ලුතිනන් ප්‍රියංක ප්‍රනාන්දුගේ සෙබළකු වූ විජේසිරිට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් සෙබළාගේ පාදයකට තුවාල වී තිබිණි. ඇවිද ගැනීමට නොහැකි වූ සෙබළාව සිය කරමතට ගත් ලුතිනන් ප්‍රියංක සැතපුම් අටක් දුර ගෙවා යුද හමුදා ට්‍රක් රථයක් වෙත රැගෙන ගියේය.
ලුතිනන් ප්‍රියංක ප්‍රනාන්දු වර්ෂ 1991 කයිට්ස් ප්‍රදේශයේ රාජකාරි කරන සමයේ සතුරු මෝටාර් ප්‍රහාඵරයකින් ඔහුගේ වම් පාදයට බරපතළ තුවාල සිදුවිය.
සිය සගයාව බේරා ගැනීම සඳහා මේජර් රොහාන් විජේසිංහ එදින ඉදිරිපත් විය. ජීවිත අවදානම නොතකමින් ඔහු වාහනය කරේනගර් රෝහල වෙත රැගෙන ගියේය. ප්‍රියංක ප්‍රනාන්දු ජීවිතය බේරා ගත්තේ අනූනවයෙනි.

එම ප්‍රහාරයෙන් ජීවිතය බේරා ගත් ප්‍රියංක ප්‍රනාන්දු වර්ෂ 1997දී විවාහ වන්නේය.
යුද හමුදා නිලධාරියකුට සිය විවාහ මංගල්‍ය කටයුතු සඳහා දින 14ක නිවාඩුවක් ලැබුණද දින 13ක් ගත වන දින ප්‍රියංක ප්‍රනාන්දු නැවත යුදපිටිය වෙත වාර්තා කරන්නේය.
තිදරු පියකු වූ ප්‍රියංක ප්‍රනාන්දුගේ දියණිය උණ රෝගයකින් වර්ෂ 2013දී මිය යන්නීය. මිය යන විට ඇය 13 හැවිරිදි වියෙහි පසු වූවාය.
ප්‍රියංකගේ බිරිය සිටින්නේ මහනුවරය. 2013 ඔක්තෝබර් මාසයේ නිවාඩුවක් සඳහා ඔහුගේ පවුලේ උදවිය යාපනයට පැමිණියහ.
බිරිය සහ දරුවන් යාපනයේ සිරි විඳීමට පැමිණියද දියණියගේ හදිසි රෝගාතුර තත්ත්වය හේතුවෙන් ඔවුහු නැවත නුවර බලා පිටත්ව ගියහ.
බිරිය සහ දරුවන් සමඟ නැවත නුවර බලා යෑමට නිවාඩු වෙන් කරවා ගෙන තිබුණද ඔහුගේ මිතුරකුගේ මෙවැනි ඉල්ලීමක් ප්‍රියංක වෙත ලැබිණි.
"මචං මට හෙට කඨිනෙකට යන්න තියෙනවා. මම තමයි කඨින චීවරය හාමුදුරුවන්ට පූජා කරන්නේ. උඹට පුළුවන්ද ඉඳලා මට උඹේ නිවාඩුව දෙන්න".
බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මිතුරාගේ එම ඉල්ලීම ඉටු කළේය. බිරිය සහ දරුවෝ උදෑසනම කඳවුරෙන් නුවර බලා පිටත් වූහ. ඔවුන් රාත්‍රියේ නිවෙස බලා පැමිණි අතර එදින රාත්‍රියේ ප්‍රියංක ප්‍රනාන්දුගේ දියණිය මෙලොවින් සමු ගත්තාය.

බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වැලිඔය මහ කැලේ ක්‍රියාන්විතයේ සිටින කාලයේ එල්.ටී.ටී.ඊ. පාළු යුද අගලකට වලස් මවක් සහ පැටවුන් දෙදෙනකු වැටී ඇති පුවතක් දැනගන්නට ලැබිණි.
වලස් මව සහ වලස් පැටව් දෙදෙනා බේරා ගැනීම සඳහා ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් එම යුද අගල වෙත පියමන් කළහ.
එම කණ්ඩායමේ සිටි කමාන්ඩෝ බළකායේ කැප්ටන් ලක්‍ෂ්මන් රත්නවර්ධන ප්‍රථමව එම යුද අගලට බැස වලස් පැටව් බේරා ගැනීමට උත්සාහ දැරීය.
නමුත් වලස් මව ඔහුගේ අත සපා කා ඊට විරෝධය පළ කළාය.

ඉන්පසු ප්‍රියංක ප්‍රමුඛ කණ්ඩායමට එම අගලට ලෑල්ලක් දමා වලස් මව සහ වලස් පැටවුන් දෙදෙනා බේරා ගැනීමට සමත් වූහ.
මෙලෙස ලියැවෙන්නේ මට සහ ඔබට නිදහසේ හුස්ම ගැනීමට අවශ්‍ය වටපිටාව සාදා දුන් යුද විරුවකු ගැනය. ප්‍රියංක ප්‍රනාන්දු දෙවැනි වරටත් සිය මවුබිම වෙනුවෙන් වගකීම ඉටු කිරීම සඳහා 2017 මැයි මස 8 වැනි දින බි්‍රතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත නික්ම විණි. ඒ වසර දෙකක කාලයක් සඳහාය. ඔහු තවමත් මවුබිම වෙනුවෙන් සටනේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon