අලස්-ගුණසේකර කුසලාන තරගාවලියෙන් බිග් මැච් සංකල්පය පැසිපන්දුවටත්

  👤  3221 readers have read this article !
By mawbima 2018-02-11

මෙරට තුළ පැසිපන්දු ක්‍රීඩාව ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරි කරගෙන ප්‍රථම වතාවට පැවැත්වෙන "අලස්-ගුණසේකර" කුසලාන වාර්ෂික පැසිපන්දු තරගය එළැඹෙන 17 වැනිදා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මාවතේ එච්.එස්.සී.බී. පැසිපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ වනවිට ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාවට පමණක් සීමා වූ විද්‍යාලාන්තර මහා සටන සංකල්පය පැසිපන්දු ක්‍රීඩාවටත් එක් කිරීම මෙම තරගයේ ප්‍රධාන අරමුණක් වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාතික පාසලක් වන කොළඹ රාජකීය විද්‍යාලය සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර පාසලක් වන ගේට්වේ විදුහලත් අත්වැල් බැඳගෙන ඇත.

ඒ අනුව මෙම තරගය පිළිබඳව පැවැති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට සමගාමීව ඒ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන මොනෑෂ් විශ්වවිද්‍යාලය මඟින් අනුග්‍රාහක චෙක්පත ප්‍රදානය කිරීම හා අලස්-ගුණසේකර කුසලානය එම විද්‍යාලයන්හි පැසිපන්දු කණ්ඩායම්වල නායකයන් අතින් මාධ්‍යට නිරාවරණය කිරීම සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා ගේට්වේ විද්‍යාලයේ සභාපති වෛද්‍ය හර්ෂ අලස් මහතා, කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා, මොනෑෂ් විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එහි අලෙවි අධ්‍යක්‍ෂ ජේ (ණචර) ජයතිලක මහතා සහ ගේට්වේ විද්‍යාලයේ විදුහල්පතිනි විනීතා ශෙනෝයි යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.
අලස්-ගුණසේකර කුසලානය සඳහා මෙම වාර්ෂික පැසිපන්දු සටන පැවැත්වෙන අතර, අභාවප්‍රාත්ත ආර්. අයි. ටී. අලස් මැතිදුන් වසර 10ක් රාජකීය විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කර ඩී.එස්.සේනානායක විදුහලේ නිර්මාතෘවරයා ලෙස සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයකු ලෙස මහඟු සේවයක් ඉටුකර ඇති අතර, ගේට්වේ විදුහලේ නිර්මාතෘවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ බිහි වූ අග්‍රගන්‍ය අධ්‍යාපනඥයකු ලෙසද ප්‍රචලිතය. අභාවප්‍රාත්ත ඊ.ක්‍රිස්ටි ගුණසේකර මහතා රාජකීය විදුහලේ අධ්‍යාපනය ලබා උප විදුහල්පතිවරයකු ලෙස දිගු කලක් එම විද්‍යාලයේ සේවය කොට පාසල් දරුවන්ගේ විනය හා තත්ත්වය ඉහළ නැංවීමට මහඟු සේවයක් ඉටුකළ අයෙකි. තවද එතුමා ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනයේ සභාපති ධුරයද දරා ඇත.

සුහද තරගකාරීත්වය මඟින් ක්‍රීඩාව තුළ හා එයින් ඔබ්බට ගිය සුහදත්වය හා පෞරුෂ වර්ධනයට තෝතැන්නක් සිසු දරුවන්හට නිර්මාණය කිරීමේ අරමුණින් රාජකීය විදුහල් පැසිපන්දු උපදේශන හා කළමනාකරණ කමිටුවේ සංකල්පයකට අනුව බිහි වූ වාර්ෂික පැසිපන්දු සටන සංවිධානයට ගේට්වේ විදුහල් පැසිපන්දු කමිටුවද අත්වැල් බැඳ ගනී. ඒ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය හර්ෂ අලස් මහතා "රජකීය විද්‍යාලයත්, ගේට්වේ විද්‍යාලයත් වෙනුවෙන් මම ඔබ සැමට ස්තුතිවන්ත වීමට කැමැතියි. මෙම පැසිපන්දු තරගය ගැන රාජකීය විද්‍යාලයේ පැසිපන්දු උපදේශකත්ව සහ කළමනාකරණ කමිටුව යෝජනා කළ අවස්ථාවේදී අපි ඒ පිළිබඳ ඉතාමත් සංතෝෂයට පත්වුණා. මොකද රජයේ පාසලක් වුවත්, පෞද්ගලික පාසලක් වුවත්, ජාත්‍යන්තර පාසලක් වුවත් අවසානයේදී අපි සියල්ලන්ම වැඩ කරන්නේ අපේ ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන්. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රජයේ පාසලක් වන රාජකීය පාසලත්, ජාත්‍යන්තර පාසල් අතර ප්‍රමුඛතම පාසලක් වන ගේට්වේ පාසලත් එකට එක්වෙලා මෙවැනි කර්තව්‍යයකට උරදීම ගැන අපි සතුටු විය යුතුයි. මෙම කටයුත්ත ආරම්භ කළ අවස්ථාවේ අපට අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදුවුණා.

නමුත් මම ඉතාමත් ආඩම්බරයෙන් කියා සිටිනවා අපිට හැකි වුණා ඒ සියලුම අභියෝග සාර්ථකව ජයගනිමින් මෙම තරගය සංවිධානය කරන්නට. මෙම තරගය තවත් වසර ගණනාවක්, දශක ගණනාවක් ඉදිරියට සාඩම්බරව පැවැත්වෙන බව මගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හා රග්බි ක්‍රීඩාවට පමණක් සීමා වී ඇති විද්‍යාලාන්තර තරග ගොන්නට පැසිපන්දු ක්‍රීඩාවත් මෙම තරගයෙන් පසුව ඇතුළත් වේවි. ඒ වගේම මොනෑෂ් විශ්වවිද්‍යාලයට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න කැමැතියි, මොකද ඔවුන් දැක්වූ සහයෝගය නොවන්නට අපට මෙම තරගය මේ තරම් සාර්ථකව සංවිධානය කර ගැනීම විශාල අභියෝගයක් වීමට ඉඩ තිබුණා. ඒ වගේම මට විශ්වාසයි මින් ඉදිරියටත් ඔවුන්ගේ සහයෝගය අපට ඒ ආකාරයෙන්ම ලැබේවි කියලා. ගේට්වේ පාසල මිශ්‍ර පාසලක්. නමුත් රාජකීය විද්‍යාලය පිරිමි පාසලක් ඒ නිසා අපි තීරණය කළා බිෂොප් විද්‍යාලයට ආරාධනා කරන්නට. ඒ අනුව ප්‍රධාන තරගයට පෙර ගේට්වේ විදුහල් කාන්තා පැසිපන්දු කණ්ඩායමත්, බිෂොප් විදුහල් කණ්ඩායමත් අතර ආරාධිත තරගය පැවැත් වෙනවා. ඉන් අනතුරුව වයස අවුරුදු 15න් පහළ බාලක තරගයක් පැවැත්වෙන අතර, මෙහි ප්‍රධාන අංගය වන වයස අවුරුදු 19න් පහළ බාලක තරගය අවසන් ඉසව්ව ලෙස පැවැත්වෙනවා" යනුවෙන් ප්‍රකාශ කළේය.

ගේට්වේ විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන ඉෂිර රිටිගහපොළ එම පාසලේ ජයග්‍රාහී පැසිපන්දු කණ්ඩායම් කිහිපයකම නායකත්වය දරා ඇති අතර, පසුගිය වසරේදී පැවැත්වුණු සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 17න් පහළ (ඒ කාණ්ඩයේ) බාලක පැසිපන්දු ශූරතාව දිනාගැනීමටද ගේට්වේ විද්‍යාලය සමත් වී තිබිණි. පැසිපන්දු ක්‍රීඩාවට බොහෝ දක්‍ෂතා දක්වා ඇති ගේට්වේ විදුහල සතුව තරගයක් වෙනස් කළ හැකි ඉතා ශක්තිමත් කණ්ඩායමක් ඇති අතර, නරඹන්නන් හට ඉතා තරගකාරී සහ වර්ණවත් තරගයක් නැරඹීමට අවස්ථාව සැලසෙන බව නොඅනුමානය. මේ අතර තරිඳු පසන් බාලසූරිය රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවන අතර, එම කණ්ඩායම මෙම ක්‍රීඩා වාරය තුළ තරග තුනක් ජයගෙන ඇත. ශා.තෝමස් විදුහල පරදා ඩී.එස්.සේනානායක අභියෝග කුසලානය ජයග්‍රහණය කළ ඔවුන් ජාතික පාසල් පැසිපන්දු තරගාවලිය සහ පපරේ පැසිපන්දු ශූරතාවද දිනාගැනීමට සමත් වී ඇත. තවද රාජකීය විදුහල් පැසිපන්දු කණ්ඩායම එම වසරේ මාර්තු මාසයේදී මලයාසියා සංචාරයක යෙදීමටද නියමිතය.
කෙසේ වෙතත් මෙම තරගය අද්විතීය සටනක් බවට පත් කිරීම පාසල් දෙකෙහිම අරමුණ වී ඇති අතර. ප්‍රේක්‍ෂක සහභාගිත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් සහ සමාජ සත්කාරක ක්‍රියාකාරකමක්ද මේ සඳහා ඇතුළත් කර ඇත. මෙම සටනේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ඕස්ට්‍රේලියාවේ සහ මලයාසියාවේ මොනෑෂ් විද්‍යාලය දරන අතර, ද පපරේ ඩොට් කොම් ඩිජිටල් හවුල්කරුවා ලෙස මෙම තරගය විකාශනය කිරීමට කටයුතු සංවිධානය කර තිබේ. තවද මෙහි සෞඛ්‍ය සේවා හවුල්කරුවා ලෙස ආසිරි සමූහ ව්‍යාපාරය දායකත්වය දක්වන අතර, හයිපර්ෆැක්ටර් (ඩ්රනඥපටචජබධප) ඩිජිටල් මාධ්‍ය හවුල්කරුවා ලෙසින් දායකත්වය සපයයි.

ඡායාරූප - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon