පස් නිසා කම්බස් වෙලා පස් යටම සැඟවෙන ගෝල බාල ජීවිත

  👤  3474 readers have read this article !
By mawbima 2018-02-11

මෙය අංගසම්පූර්ණයෙන්ම කේවල් කිරීමේ යුද්ධයකි. ඉන් මත්තට ලංසු තැබීම පිළිබඳ යුද්ධයකි. කොලු කුරුට්ටන් කීප දෙනෙක්ගේ ඇන කොටා ගැනීම් මෙතරම් කෙටි කාලයක් තුළ කුරිරු ඝාතන වැලක් දක්වා ඇදී යතැයි ඒ කොලු කුරුට්ටන්ද නොසිතන්නට ඇති. මජර, තක්කඩි දේශපාලනය විසින් අවි ආයුධ දැරීමේ සංස්කෘතිය කොලු කුරුට්ටන් අතට දායාද කළේ කවදාද? එතැන් සිට මේ හදවත් ඉරිතැළීම්, සිදුරු වීම් ආරම්භ වුණා යැයි කීමයි නිවැරැදි.

ගත විනිවිද යන තරම් සීතලක් පැවැති 2012 අවුරුද්දේ අප්‍රියෙල් 13 දා කොටුගොඩ කළු ගාමිණී ඝාතනය වන්නේ අසාර්ථක ඝාතන උත්සාහයන් කීපයකින් අනතුරුවය. පස් පාතාලයේ නොවරදින ඉලක්කයන් දෛවෝපගත ලෙස වැරදී යෑම මුල්කරගත් කළු ගාමිණී පස් පාතාලයේ කිරුළු පලන් රජු වූවා පමණක් නොව කල්ලි කණ්ඩායම් ගණනාවකටම නායකත්වයද සැපයීය. කළු ගාමීණී ප්‍රකට වූයේ හිත හොඳ මිනිසෙක් ලෙසය. අනවසර මත්පැන් ජාවාරම වෘත්තීයමය වශයෙන් සිදුකළ ගාමිණී, පස් කැපීම සහ පස් ප්‍රවාහනය කරා තල්ලු වී යන්නේ දේශපාලන බලපුළුවන්කාරකම තම කර මත පතිත වූවාට පසුවය. ගාමිණීගේ සහායක් නොමැතිව ගම්පහ දිස්ත්‍රික්කය තුළ දේශපාලනය කිරීමට නොහැකි බව තේරුම්ගත් දේශපාලන පොරපිටියේ සිටින දේශපාලනඥයන් ගාමිණී වටා එක්රැස් වීම ගාමිණීගේ සමකාලීනයන්ට පෙනුණේ එය තවදුරටත් තමන්ගේ පැවැත්මට තර්ජනයක් ලෙසය.

කළු ගාමිණී ගෝලබාලයන් රොත්තක් තම දුවා දරුවන් ලෙස නඩත්තු කර ඇති අතර ඒ ගෝලයන් අතරින් ගාමිණීගේ අතිශය හිතෛෂිවන්තයා වන්නේ සමන් රෝහිත පෙරේරා, නොඑසේ නම් කෙහෙල්බද්දර පස් පොඩ්ඩාය. කළු ගාමිණී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකි. 2001 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව පරාජයට පත්වූ අවස්ථාවේ දේශපාලන බලය එක්සත් ජාතික පාක්ෂිකයන් අතට පත්වන විට එම පක්ෂයට ළැදි පස් පාතාලය නියෝජනය කළ යාගොඩමුල්ලේ අසිත පාර්ශ්වයට අවශ්‍ය වී ඇත්තේ ගාමිණී අත තිබූ පස් කැපීමේ ඒකාධිකාරය තමන් සතු කර ගන්නටය. "ගාමිණී හම්බකළා ඇති - අපි දැන් හම්බ කරන්න ඕනෑ" එලෙස පාරම්බාන ලද අසිතට වුවමනා වූයේ ගාමිණීගේ පස් කිරුළ ඩැහැගන්නටය. ආරච්චිවත්තේ ලලිත් විසින් පස් ගාමිණී සහ යාගොඩමුල්ලේ අසිත අතර නොහොඳ නෝක්කඩුවක් ඇති කරන්නේ කළු ගාමිණී අසිතව ඝාතනය කිරීම සඳහා උත්සාහ දරන බව යාගොඩමුල්ලේ අසිතට පවසමිනි. ඊට පෙරාඅතුව ගාමිණී අවසන් කර දැමිය යුතු යැයි තීරණය කරනා අසිත සිය පළමු උත්සාහය දරන්නේ මිනුවන්ගොඩ කොටුගොඩ කන්ද උඩදීය. කළු ගාමිණීගේ ආරක්ෂාව සඳහා ඔහු අසලින් නිතර දෙවේලේ ගැවසුණු පස් පොඩ්ඩා ගාමිණී ඝාතනය කිරීම සඳහා අසිත ගන්නා ලද උත්සාහය සියැසින් දුටු සාක්ෂිකරුවා වන්නේ එම ඝාතන උත්සාහය ව්‍යර්ථ වන වටපිටාවකදීය. කළු ගාමිණී කොටුගොඩ කන්ද නඟින විට පෙට්රල් කඩේ දීපාල් සහ අසිත කළු ගාමිණීගේ මූණට මුලිච්චි වන අතර එම දෙදෙනාටම ගිහින් එන්නම් යැයි කියා ගාමිණී සිය රථය ඉදිරියට පදවන්නේ තමා ඝාතනය කිරීම සඳහා අසිත උත්සාහ නොගන්නවා යන පූර්ව නිගමනය පිටය.

අසාර්ථක ඝාතන උත්සාහයේ වෙඩික්කරුවාව අසිත විසින් යතුරුපැදියක නංවාගෙන යන ආකාරය දකින පස් පොඩ්ඩා සිදුවීම පිළිබඳව පොලිසියට සාක්ෂි සැපයීමට ඉදිරිපත් වෙද්දී අසිත පස් පොඩ්ඩාට තර්ජනය කරන්නේ එලෙස සාක්ෂි ලබා නොදෙන ලෙසය. අසිතගේ නොනවතින ඝාතන උත්සාහය උඩුගම්පොළ පාසල ඉදිරිපිටදී කළු ගාමිණී මරා දැමීමෙන් පසු සාර්ථක වන අතර එම ඝාතනය ස¼දහා අසිත සමඟ මාකවිට උදය, දේවක පැමිණ ඇතැයි පැවසේ. කළු ගාමිණී ඝාතනයෙන් පසු පස් කැපීමේ ඒකාධිකාරය හිමිවන්නේ ඔහුගේ ගෝලයා වූ පස් පොඩ්ඩාටය. ගාමිණී සමඟ දීර්ඝ කාලයක් පස් කැපීමේ කාර්යය සිදුකළ නිසා බලපත්‍ර ලබා ගැනීම අනුමැතිය ලබා ගැනීම, ප්‍රවාහනය වැනි කාර්යයන් පිළිබඳ පස් පොඩ්ඩාට තිබූ දැනුම ඒ සඳහා හේතුවුණා යැයි පැවසේ. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට පස් ලබාදීමේ කොන්ත්‍රාත්තුව ලබාගන්නා පස් පොඩ්ඩා හිටපු පොලිස් ලොක්කකුගේ පුතකු සතු අක්කර 10ක භූමියක පිහිටි කන්දක් කපා ඉවත් කරන්නේ ඔය අතරතුරය.

අළුගසා නැඟිටගනිමින් සිටි පස් පොඩ්ඩාගේ දියුණුව පිළිබඳ කලබලයට පත් අසිත පාර්ශ්වය තම ආයුධ බලය පෙන්වා පස් පොඩ්ඩාගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ලබාගැනීම සඳහා උත්සාහ දරන්නේ ඔය අතරතුරය. එවැනි විශාල මුදලක් කප්පම් වශයෙන් ලබාදීමට හැකියාවක් තමන්ට නැතැයි පවසමින් පස් පොඩ්ඩා පාතාල හා දේශපාලන දෙඅංශයෙන්ම සවිමත් ගම්පහ ප්‍රදේශයේ එක්තරා ප්‍රබලයෙක් සොයා ගන්නේ අසිත පාර්ශ්වයෙන් තමාට එල්ල වී ඇති තර්ජනවලට යම් සහනයක් ලබාගැනීම සඳහාය. අසිත පාර්ශ්වය විසින් පස් පොඩ්ඩාව ඝාතනය කිරීම සඳහා උත්සාහ කීපයක් දරන්නේ ඔය අතරතුරය. උග්ගල්ගොඩ කන්ද කපා ඉවත්කිරීමේ කාර්යයේ නිරතව සිටි පස් පොඩ්ඩා ඝාතනය කිරීම සඳහා අසිත සහ ඔහුගේ සොයුරා උත්සාහ ගත් අවස්ථාවේදී වඩාත් කලබලයට පත්වන පස් පොඩ්ඩා පෙර සඳහන් කළ ප්‍රබල පුද්ගලයා අතරමැදියා කරගනිමින් අසිතගේ පාර්ශ්වයට යම් කප්පම් මුදලක් ලබාදී ඇතැයි පැවසේ. ඒ සඳහා පස්පොඩ්ඩාට සහය වී ඇත්තේ මීට දින කීපයකට ඉහතදී පස් පාතාලයේ තවත් එක් ඉලක්කයක් වූ කෙහෙල්බද්දර නෙවිල් මාමාය. නෙවිල් මාමා යනු තලතුනා පුද්ගලයෙකි. වෘත්තීයමය වශයෙන් පස් කපා ඉවත්කිරීමේ කාර්යයේ නිරත හැම පාර්ශ්වයක් සමඟම නෙවිල් මාමාට තිබී ඇත්තේ හොඳ සම්බන්ධතාවකි. ඇනකොටා ගන්නෙ නැතිව රස්සාව කරපල්ලා. ඒ හැම පාර්ශ්වයකටම නෙවිල් මාමා පවසා ඇත්තේ එවැන්නකි.

ගම්පහ නගරයට නුදුරු ප්‍රදේශයකදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙක් සහ එක් රැ¼දවියෙක් ඝාතනය වන්නේ ඔය අතරතුරය. සාගර කලවැල්පිටියේ ජායියා සහ නෙවිල් එම ප්‍රහාරය සැලසුම්කර ඇති අතර ඒ සඳහා ටිපර් රථය ලබාදී ඇත්තේ සාගර විසින් යැයි පැවැසේ. අනුරාධපුරයේදී සහ කුරුණෑගලදී අත්අඩංගුවට පත්වන පස් පොඩ්ඩාගේ කණ්ඩායම එම ඝාතනයේ වගකීම භාරගත්තද සැබෑ ලෙසින් එය වෙනත් පාර්ශ්වයක් විසින් රචනා කරන ලද තිර පිටපතකට නළු නිළියන් සැපයීමක් බව පස් පාතාලය පිළිබඳ කරුණු කාරණා දන්නා බොහෝ දෙනෙක්ගේ මතය ය.

අවුරුදු තුනකුත් මාස 8ක් සිරගෙදර ලගින පස් පොඩ්ඩාගේ කල්ලිය නැවත මිනුවන්ගොඩ ප්‍රදේශයට පැමිණෙන්නේ කුඩා කල්ලි කණ්ඩායම් කීපයක් පස් කැපීම දේශපාලන හයිය මුල්කර ගනිමින් සිදුකරමින් සිටින වටපිටාවකය. රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි අවුරුදු 3 ඇතුළත තමන් සමඟ සිටිනා අනෙකුත් සහචරයන්ගේ ගෙවල් ‍ෙදාරවල්වල අවශ්‍යතා පවා ඉටුකර ඇත්තේ පස් පොඩ්ඩාය. එම නිසා පස් පොඩ්ඩා සතුව වැඩි පිරිස් බලයක් තිබී ඇත. රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පස් පොඩ්ඩා ඇප ලබා පැමිණ දින අටක් ඇතුළත අසිත සහ ඔහුගේ සොහොයුරා මරා දැමෙන්නේ ඔය අතරතුරය. දඹදෙණිය ප්‍රදේශයේ අක්කර 40ක පමණ විශාල භූමි භාගයක පස් ලොරි 600ක් 700ක් මඟින් ප්‍රවාහනය කරන තරම් විශාල පස් ව්‍යාපාරයක් සිදුකළ පස් පොඩ්ඩා 2012 වසර සිට පස් ව්‍යාපාරයෙන් ඉවත්වන්නේ ඔහුට එල්ල වූ ජීවිත තර්ජන හමුවේ යැයි කියනු ලැබේ. "පස් පොඩ්ඩා පොඩි පොඩි වැඩ කරන්නේ නෑ. කරනවානම් කරන්නේ අක්කර 10 - 20 එහෙම නැත්නම් 30-40 ඉඩම්වල පස් කපන එක විතරයි" එලෙස පවසන්නේ පස් පාතාලය පිළිබඳ දැනුමක් තේරුමක් ඇති උදවිය ය.

පස් කැපීමේ ව්‍යාපාරයෙන් පස් පොඩ්ඩා ඉවත්වූ පසු ඔහුගේ තැන ලබාගැනීම සඳහා උත්සාහ දරන කීපදෙනා අතරින් කැපී පෙනෙන්නේ නෙවිල් මාමාගේ ලොකු පුතා වන පද්මසිරිය. ඔහු ගම්පහ දේශපාලන ප්‍රබලයාගේ මඟ පෙන්වීම යටතේ පස් කැපීම සිදුකළා යැයි කියැවේ. ඇතිවීමට නියමිත අයහපත් වාතාවරණය පිළිබඳ කල්තියා දැනගැනීමට හැකියාවක් ඇති නෙවිල් මාමාට වුවමනා වී ඇත්තේ තම පුතා කිසිදු පාර්ශ්වයක් සමඟ ගැටුමට නොගොස් සිටිනවා දැකීමය. නෙවිල් මාමා තමන්ගේ හිත මිත්‍රයෙක් වූ නවරත්නගේ ගෙදරට පස් පොඩ්ඩාව සහ පස් ව්‍යාපාරයේ නිරත අනෙකුත් පිරිස්ද තම පුතාද ගෙන්වා තත්ත්වය පාලනය කිරීමට දැඩි උත්සාහයක් ගෙන ඇති අතර එම සාම සාකච්ඡා වටය සඳහා කළු ගාමිණීට වෙඩි තබන විට වෙඩි පහර කෑ නියුටන්ද සිට ඇතැයි පැවසේ. "මට ලොක්කො පොඩ්ඩො අදාළ නෑ. මම මගේ වැඩේ කරනවා." එලෙස පවසා ඇති නෙවිල් මාමාගේ පුතා සාම සාකච්ඡා වටයට පයින් ගසා ඇත්තේ ගම්පහ දේශපාලන ප්‍රබලයාගේ සහය තමන්ට ලැබෙතැයි යන උපකල්පනයට අනුවයි.

පසුගිය සති කීපය කලඹන ලද ඝාතන සිද්ධීන්වල ආරම්භය සැකසී ඇත්තේ එතැන් සිට යැයි කියැවේ. දේවා යනු පස් පොඩ්ඩාගේ ගෝලයෙකි. පස්පොඩ්ඩා පස් කැපීම නවතා දැමීමෙන් පසු එම විෂය පිළිබඳ දැනුමක් තමන්ගේ ගෝලබාලයන්ට ලබාදී ඇතැයි පැවසේ. පස් විෂය පිළිබඳ දැනුමක් ඇතිව කොටුගොඩ යාගොඩමුල්ලේ කන්දකට පර්මිට් එකක් දේවා දමා ඇත්තේ ඒ අතරතුරය. ඔය අතරතුර දේවා සහ සාගර හිතමිත්‍රකම් ආරම්භ කර ඇතැයි පැවසේ. දේවා පස් පොඩ්ඩාගේ ගෝලයෙක් වුවත් යාගොඩමුල්ල කන්දේ පස් කැපීමට අවසර ලබාගෙන ඇත්තේ සුරේෂ්ය. සුරේෂ්ට ලැබුණු පර්මිට් එකට අදාළ පස් කපා ඉවත් කිරීම දේවාට ලබාදිය යුතු යැයි සාගර පාර්ශ්වයෙන් තර්ජන එල්ලවී ඇති අතර ඒ අවස්ථාවේදී පස් පොඩ්ඩාගේ මතය වී ඇත්තේ පස් කපා ඉවත් කිරීමට අවසර ලබාගත් සුරේෂ් විසින් එය සිදුකළ යුතු බවය. එම තත්ත්වය මත පස් පොඩ්ඩා සමඟ දේවා විරසක වී ඇතැයි පැවසේ. එම විරසකය මුල්කර ගනිමින් සාගර විසින් පස් පොඩ්ඩාට මරණ තර්ජන එල්ලකර ඇති අතර කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේදී පොලිසිය විසින් තබන වෙඩි තැබීමකදී සාගර ඝාතනය වන්නේද ඔය අතරේය. පස් පොඩ්ඩාගෙන් ගැලවී ගොස් සාගරගේ හවුහරණය ලද දේවා ඉන් පසුව පස් ව්‍යාපාරය තුළ අනාථ තත්ත්වයට පත්ව තිබේ.

එම කාලසීමාව තුළ කරළියට පැමිණි දේවක නම් අලුත් පස් කැපීමේ ව්‍යාපාරිකයෙක්ද ඝාතනය වන්නේය. අඹගහවත්ත ප්‍රදේශයේදී දේවක මරා දැමුවේ යැයි කියැවෙන සාගරගේ කණ්ඩායම දේවාගේද සහාය ඇතිව පස් ව්‍යාපාරය ජයටම සිදුකර ඇතැයි පැවසේ. ඉන්පසුව දේවා නෙවිල් මාමාගේ සහයෙන් නැවතත් ගම්පහ දිසාවේ දේශපාලන ප්‍රබලයාට හේත්තු වන්නේ තම පස් ව්‍යාපාරය සාර්ථක කර ගැනීමේ මූලික අරමුණිනි. ගම්පහ දිසාවේ ප්‍රබලයාගේ අනෙක් පාර්ශ්වය එසේත් නැත්නම් විරුද්ධ පාර්ශ්වය වන්නේ ගණේමුල්ලේ සංජීවය. ගණේමුල්ලේ සංජීවව ඇසුරු කරන පුද්ගලයන් කෙරේ ගම්පහ දිසාවේ දේශපාලන ප්‍රබලයාට තිබී ඇත්තේ නොසතුටකි. දේවා ගණේමුල්ලේ සංජීවගේ හිතමිතුරෙක් බව දැනගන්නා ගම්පහ දිසාවේ දේශපාලන ප්‍රබලයා දේවාට ලබාදී තිබූ වක්‍ර ආරක්ෂාව ඉවත් කර දමන්නේ තම සතුරාගේ මිතුරා තවදුරටත් සතුරෙක්ම ලෙස සලකමිනි.

තම ගෝලයා පිළිබඳ පුංචි පහේ අනුකම්පාවක් උපද්දවා ගන්නා පස් පොඩ්ඩා දේවාව දැනුවත් කරන්නේ ඉදිරියට ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් ගැනය. දේවා සහ නෙවිල් මාමාගේ පුතා ගම්පහ දිසාවේ දේශපාලන ප්‍රබලයා හමුවී පවසා සිට ඇත්තේ පස්පොඩ්ඩා අප සියලු දෙනාගේම ජීවිතවලට තර්ජනයක් බවය. ගනේමුල්ලේ සංජීව ගම්පහ දිසාවේ දේශපාලන ප්‍රබලයාව ඝාතනය කිරීම සඳහා උත්සාහයන් කීපයක්ම දරන්නේද ඔය අතරතුරය. කොටුගොඩ සුරේෂ් නැවත වරක් පස් කැපීම සඳහා අවසර ලබාගත් අවස්ථාවේදී දේවාගේ සහ පත්මසිරිගේ කණ්ඩායම පොල්වත්තේ අජිත් ලවා සුරේෂ්ව ඝාතනය කරන්නේ පස් පාතාලයේ කිරුළ තම අත රඳවා ගතයුතු නිසාය. එම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට දේවා අත්අඩංගුවට පත්ව තිබේ.

පසුගිය සතියේදී ඝාතනයට ලක්වූ ප්‍රශාන් නිරෝෂණ නමැත්තා ගම්පහ දිස්ත්‍රික්කයේ සිටි ප්‍රබල දේශපාලනඥයකුගේ ඉඩමක වැලිපස් ඉවත් කර ගල් පස් දමා එම ඉඩම නැවත සකසමින් සිට ඇති අතර ඔහුගේ ඝාතනය සඳහා ආසන්නතම සිදුවීම වී ඇත්තේ එම කොන්ත්‍රාත්තුවෙන් ලැබෙන මුදලින් ලක්ෂ 10ක් සහ ලංකාවේ ප්‍රමුඛ පෙළේ පළතුරු නිෂ්පාදන ආයතනයක මඩපස් ඇදීම සඳහා ලබාගත් කොන්ත්‍රාත්තුවෙන් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලා සිට ඇතත් ඔහු විසින් එය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති නිසා යැයි පැවසේ.

ගම්පහ මුල්කරගත් පස් පාතාලයේ වර්තමාන ඝාතන රැල්ලේ දිග දුර ඇදීමක් තවදුරටත් සිදුවෙතැයි යන්න බොහෝ දෙනාගේ අදහසය. ඉදිකිරීම් කර්මාන්තය, අධිවේගී මාර්ග තැනීම වැඩි වශයෙන් සිදුවන කාලයකට සාපේක්ෂව පස් පාතාලයන් මේ ආකාරයට කුරිරු ඝාතන රැල්ලක් දියත් කිරීම සාමාන්‍ය කරුණක් වී තිබේ. නිල නොවන ආරංචි මාර්ගවලට අනුව මේ වන විට පාතාල පස් ගැටුම නිසා පුද්ගල ජීවිත 36ක් පමණ විනාශව ගොස් තිබේ. වඩා වැදගත් කාරණය වන්නේ මෙම ඝාතන සංස්කෘතිය පිළිබඳ ජනමාධ්‍ය දරන ඇල්මැරුණු ස්වභාවය. එම ඝාතන තවදුරටත් හුදකලා ඝාතන බව පෙන්වීම සඳහා දරන උත්සාහයක් ජනමාධ්‍ය තුළ ඇතැයි සිතිය හැක්කේ එම ඝාතන පිළිබඳ සිදුවීම් වාර්තා කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන එම ඝාතන පිළිබඳ ස්වයං නියාමනයක් තමන් සතුකරගෙන ඇති නිසාය. කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කය මුල්කරගත් පස් පාතාලයේ කටයුතු අඩපණ කිරීම සඳහා මේ වන විට රාජ්‍ය බුද්ධි අංශ සහ විශේෂ කාර්ය බළකාය නව සැලසුම් කීපයක් මුල්කරගෙන ක්‍රියාත්මක වීමට උත්සාහ ගෙන ඇති නිසා තත්ත්වය යම් දුරකට ඉදිරියේදී පාලනය වනු ඇතැයි සිතිය හැකිය. කෙසේ වෙතත් පස් මාෆියාව මුල්කරගත් පාතාලයට තිත තැබිය යුතු කාලය නම් උදාවී තිබේ.

තිනෙත් ආරියරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon