ඩොන්ගල් ග්‍රෑම් 500යි පෙන් ඩ්‍රයිව් ග්‍රෑම් 250යි

  👤  3317 readers have read this article !
By mawbima 2018-02-11

පොං සහ පිං ඡන්දේ දවසේ රෑට ප්‍රතිඵල අහන්න හිතාගෙන පොඩියට සෙට් වෙන්න කතාකර ගත්තා.
"පොඩි පුතේ... රෑට පිං අංකල් ඡන්දේ අහන්න මෙහේ එනවා. ළාවට කෑම ටිකක් හදන්න ඕනේ. කඩේට ගිහින් මේං මේ අඩුම කුඩුම ටික අරන් වරෙන්කෝ...! පොංගේ අණට පොඩි එකා ඕං කඩ මණ්ඩියට දිව්වා.
"මුදලාලි මාමේ මට මේං මේ බඩු ටික දෙන්ඩකෝ...!"

"කෝ... මෙහේ දියන් කොලුවෝ... ලැයිස්තුව...!"
"ආ... මාමේ...!"
"අෑ... බොලන් මේ මොනවැයි..."

ක 5 කිලෝ 2යි, ඩොන්ගල් ග්‍රෑම් 500යි, පෙන් ඩ්‍රයිව් ග්‍රෑම් 250යි, ඉන්ටර්නෙට් කි. 1යි, ජ්ඕ කොළ 10යි, බයිට් එකට චැට් ග්‍රෑම් 50යි, පිඟන් වෙනුවට ගන්න ලැප්ටොප් දෙකයි... ඕං ඔය ටික ඉක්මනට දෙන්න මාමේ...!
"සන්තානම් මෑණියනේ... මේවා කන්න පුළුවන්යැ...?"
"මාමේ... කිං පැරකුම් අංකල් අපිට කන්න කියන්නේ ඕවා තමයි...!"
"ඒ මොනවටද... පුතේ!"
"බඩගින්නට...!"

"එතකොට හාල්, පොල්, සීනි, පිටි, මාළු, මස්, එළවළු...?"
"ඒවා ඒ අය කනවනේ මාමේ... මේවා කන්න කියන්නේ මේ අපිට...!"
"ඒ ඇයි පුතේ...?"

"රට සංවර්ධනය කරලා අපිව අඟහරු ලෝකෙට යවන්ඩ නොවැ...!"
එහෙම කියපු පොඩි එකා බඩු ටිකත් අරගෙන ගූගල් බැලුමක නැඟලා ගෙදර ගියා.
"ඕං ඉතින් ඡන්දේ අහන්ඩ ඉස්සෙල්ලා නාගන්ඩ කියලා හිතපු පොං සහ පිං ළිඳ ළඟට ගියා.
"අප්පට සිරි.... මාර සෙනඟක් පෝලිමේ ඉන්නවනේ නාගන්ඩ... මේ මාමේ මක්කැයි අද මෙච්චර සෙනඟක්?"
"කොහෙද පුතේ... අද ළිඳට කිට්ටු වෙන්ඩ බැහැ... උදේ ඉඳන් ළිඳම බදු අරන්...!"
"ඇන්නෑවයි... ඒ කවුද මාමේ...?"

"සම්පතක් ඇදිලා ඉන්න බදුලු චාටර සම්පතයා...!"
"ඉතින් උදේ ඉඳලා ළිඳේ...?"
"පොර ගිය සතියේ ඉඳලා නානවා... ඔන්න ඊයේ පෙරේදා ඉඳලා පාත්තරයකින් නානවා...!"
"අෑ...? ඒ මොකෝ...?"
"දණගස්සන්න ගිහිල්ලා යාන්තම් සබන් නොගාගෙන නෑවා... සතියක් ගියේ නැහැ බෝල සබන් ගාගෙනම හෝල් සේල් නානවා...!"
"ඒ... කොහොමද...?"

"චීවරේට පාට් දාන්ඩ ගිහින් පොල් කට්ටෙන් වගේ පාත්තරෙන් නානවා...!"
"මොනා වෙයිද...?"
"මොනා වෙන්නද පුතේ පොර නායි... නාලා යයි. අපි කැපෙයි...! එහෙම කියපු මාමා නාගන්ඩ පෝලිමේම හිටියා."
"අම්මේ... මොකද බං අර ඒ පාර ඩිස්පැන්සරිය ළඟ සෙනඟ...?"
"යකඩෝ.. හැමෝම කහිනවා... කාස වසංගතයක්වත්ද... බලමු අහලා... මේ නර්ස් නෝනේ... මොකද අද සෙනඟ...?"
"පහුගිය ‍ෙදාහේ... කැහැලා... කැහැලා... කැස්ස හදාගත්තු විමලේ, ගොං මංපිල මලයා, වාසි සහෝ කැස්සට ප්‍රත්‍යක්ෂ කැස්ස සිරප් ගන්ඩ ඇවිල්ලා...!"
"එතකොට ඇතුළේ ඉන්න ලෙඩා...?"

"අපෝ... ලෙඩා හාන්සි... අපේ ජිල්බු තුමාට හොදටම දූවිලි වැදිලා උගුර වණවෙලා, තොල් වේළිලා...!"
"අප්පොච්චියේ අර මොකෝ...?"
"පුරුදු නැති දේවල් කරන්ඩ ගිහිල්ලා...!"

"ඒ කිව්වේ...?"
"පොළොවේ පය ගහන්ඩ ගිහිල්ලා...!"
එහෙම කියපු නර්ස් නෝනා ජිල්බු තුමාගේ උගුර පාදන්ඩ ලුණු වතුර පොවන්ඩ ගියා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon