තියුණු සටනක ප්‍රතිඵලය

  👤  3449 readers have read this article !
By mawbima 2018-02-11

මහා ඝෝෂාවකින් පසු ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින මොහොතකි. ලැබී ඇති තොරතුරුවලට අනුව කවුරුන් ජය ගත්තේද? කවුරුන් පරාජයට පත්වී දැයි ඒ ඒ පාර්ශ්වයන් දැනටමත් වටහා ගෙන ඇති හැඩ පෙනෙයි.

"ගමට වැඩක් කර ගන්නට අපිට අපේ කෙනෙක්" වෙනුවට ගාලගෝට්ටි රැසක් මැද එකිනෙකා ඇන කොටා ගන්නා ප්‍රාදේශීය සභාවක්, නගර සභාවක්, මහ නගර සභාවක් බිහිවුණාදෝ යි සිතෙන තරමට ඇතැම් ප්‍රතිඵල හිතා ගන්නටවත් බැරි තරම් යැයි සිතෙනු ඇත.
දේශපාලන බල අරගලයේදී මෛත්‍රිත්, රනිලුත්, මහින්දත් කොතරම් ස්ථාන රැක ගත්තේද? ඒ රැකගත් ස්ථාන හරහා ජනතාවට සේවය කරන්නට යැයි කියා ගනිමින් කුමන කඳවුරක් හා එක්වේදැයි සිතා ගන්නට බැරි මොහොතකි.

මේ මොහොතේ රටේ සමස්ත ප්‍රතිඵලය ගණනය කර ඒ ඒ පක්‍ෂ හා කණ්ඩායම් ලබාගත් ඡන්ද ගොඩ කොතෙක් දැයි විග්‍රහ කරන්නට පෙර යමක් සිහිපත් කළ යුතුය. එනම් මේ ඡන්දය යහපාලන ආණ්ඩුවේ තීරණාත්මක පළමු ඡන්දයයි. එහි ප්‍රතිඵල දකිමින් මොහොතකට 2015 මහ මැතිවරණයේදී ඒ ඒ ප්‍රබල පක්‍ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව දැක්වීම යුතුකමකි.
එ.ජා.ප.ය ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 5,098,927කි. සන්ධානය ලබාගත්තේ ඡන්ද 4,732,669කි. ජ.වි.පෙ. ඡන්ද 543,944ක් වූ අතර, දෙමළ සන්ධානය ලබා ගත්තේ 515,963කි. එදා ප්‍රතිඵලයට අනුව මෙවර ප්‍රතිඵලයේදී සන්ධානයේ ඡන්ද ගොඩෙන් මෛත්‍රිටත්, මහින්දටත් බෙදී ගිය ඡන්ද කොතෙක් දැයි මේ ඡන්ද ප්‍රතිඵලය අනුව සිතාගත හැකිය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අත ලකුණටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ බුලත් කොළයටත් ඡන්ද වැටුණු ආකාරය වෙනස් ප්‍රතිඵලයකි. එය මහජන මතයේ පැතිකඩ නිරූපණය කරන්නකි.

මහින්ද වටා ගාල් වූ ඡන්ද දායකයන්ගෙන් අති බහුතරය ශ්‍රී ල.නි.ප. ඡන්ද හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඇති ඡන්ද බවට සිතා ගත හැකිය. මේ අනුව ශ්‍රී ල.නි.ප.ය ප්‍රමුඛ වාමාංශික බලවේගත් සෙසු කණ්ඩායම් හා පුද්ගලයන්ගේ ඡන්ද ගිණුමේ ශේෂ පත්‍රත් ඉතිහාසයේ සුවිශේෂ මතක සටහන් තබමින් වෙනස් වී, විසිරී, බිඳී අඬු කැඩුණු ප්‍රතිඵලයක් බිහි වී තිබෙන්නේය. ශ්‍රී ල.නි.ප.යේ ඡන්ද කොතෙක් තිබුණද ඉන් අති බහුතරය කා අතට ගියේ දැයි දැන් පැහැදිලිය. එබැවින් ශ්‍රී ල.නි.ප.ය නමැති පක්‍ෂයට හෝ පොහොට්ටුවෙන් මතු වූ මහින්ද පිලට මේ සියල්ල යහමින් කළමනාකරණය කරගෙන ඉදිරි පියවර තබන්නේ කෙසේ්දැයි සිතන්නට වනු ඇත.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මෙසේ වීමට තුඩුදුන් කරුණු කාරණා අවසන් මොහොතේ පෙළගැස්වුණු ආකාරය අනුව ජනතාව ඒ කෙරෙහි විශ්වාසය තැබූ ආකාරය අනුව ම¼දක් සිහිපත් කළ යුතුය.

මෛත්‍රි රටේම ජනාධිපතිවරයා හැටියට නොව "ශ්‍රී ල.නි.ප.යේ නායකයා - ජනාධිපතිවරයා" වශයෙන් සම්මුතිවාදයද මොහොතකට අමතක කරමින් උද්වේගකර කතා කීවේය. අවසන් සතියේදී කළ කතා පෙළින් ඔහු කියූවක් මෙසේය.
"මම ජනපති පුටුවෙන් යන්නේ රටේ හොරකමත්, දූෂණයත් මුළුමනින්ම නතර කරලා. එපා කිව්වට රනිල් ඇහුවේ නෑ. මහ බැංකුවට මහේන්ද්‍රන්වත්, මුදල් ඇමැතිකමට රවීවත් දැම්මා"

මෛත්‍රිව කුල්මත් කළ උපදේශකයන් වැඩේ කොහොම කළා වුවත්, ඒ කතාව ගැන ප්‍රශංසා කළා වුවත් මෙයින් මෛත්‍රිට ලැබුණු වාසිය කොතෙක්දැයි සිතාගත හැකිය. මෛත්‍රිව ජනාධිපති කරන්නට වැඩියෙන්ම දර දිය ඇද, එළිවන තුරු ප්‍රතිඵල අසමින්, නිදි වරමින්, රතිඤ්ඤා පත්තු කළ යූ.එන්.පී. කාරයාට මේ කතාවලින් කියැවුණු "මූල්‍ය වංචාව" මහා බක්කක් හැටියට දැනුණේ නැත. ඉන් ඔවුන්ගේ හිත් රිදුණේය. "මෛත්‍රි සාධාරණ මිනිහා. එයා අපිට පිටුපාන්නේ නෑ" යැයි සිතූ ඡන්ද දායකයා මෛත්‍රි කෙරෙහි කලකිරී ඔහු හැර ගියේය..

මෛත්‍රිගේ සෘජු පහරදීම "දූෂණයට, වංචාවට එරෙහිව" නම් කෙරුණේ වුවද ඔහු වටාද කිසියම් දූෂිතයන් පිරිසක් සිටින බවට ජනතාව දැන උන්හ.
"මෛත්‍රි - මහින්දට හොරා කියද්දී මෛත්‍රි ළඟත් තව හොරු ඉන්නවා නම්, ඒ අයට ප්‍රශ්නයක් නැති නම්, මේ හොරු ඇල්ලීමේ කතාවට වටිනාකමක් තියෙනවාද? ගමේ ගොඩේ මිනිසුන් කතා කළ බව මෛත්‍රි නොදැන සිටියා යැයි කියන්නට බැරිය.

මෛත්‍රි ආවේගයෙන් මහින්දට වාග් ප්‍රහාරයන් දීලා අදින හැම වෙලාවෙම මහින්දත් අවසන් වටයේදී ඒ තරමේම වාග් ප්‍රහාර එල්ල කළ හැටි කැපී පෙනුණේය.
"පවුල්වාදය ගැන මට චෝදනා කරන අයගේ පවුල්වාදය බලන්න පොළොන්නරුවට එන්න. මොරගහකන්දත් එයාගේ හීනයක්ය කියලා ජනතාව රවට්ටනවා. ඒක මහින්ද චින්තනයේ ව්‍යාපෘතියක්"
(පොළොන්නරුවේදී)
"යුද්දෙ කාලෙදී මෛත්‍රි දුටුගැමුණු රජතුමාට හිටපු දසමහා යෝධයන්ගෙන් එක්කෙනෙක් වගේලු හිටියේ. ඒත් එයාට අමතකයි එදා ඒ දස මහා යෝධයන්ගෙන් කවුරුවත් ආප්ප කාලා එළාර ගාවට ගියේ නෑ කියලා"

(මාතරදී)
මෛත්‍රි ළඟත් පවුල්වාදයක් ඇතැයි හඟවමින් මහින්ද එළාර ළඟට ගිය උන්දැලා කවුදැයි කියද්දී ඔහු වටා සිටි පිරිස ඔල්වරසන් දුන් අයුරින් බිම් මට්ටමේදී මහින්දට ඉහළ දායකත්වයක් ලැබෙනු ඇති බවට කාගෙත් කතා බහට ලක් වුණේය. මහින්දගේ රැස්වීම්වලට මෛත්‍රිගේ රැස්වීම්වලටත් වඩා පිරිස රැස්වූ බවට තර්ක විතර්ක තිබුණේය. ඒ හැටි ප්‍රහාරාත්මක වූත්, උද්වේගකර වූත් කතාවක් නොකළා වූවාට මහින්දගේ සාර්ථකම ජන රැලිය තිබුණේ කුරුණෑගලදී බවට විවාදයක් නොතිබිණි. මහින්දට "හොරා" යැයි කියන මෛත්‍රිටත් රනිල්ටත් බලාපොරොත්තු නොවූ උත්තරයක් මහින්ද නාත්තන්ඩිය රැලියේදී දුන්නේය.
"ශ්‍රී ලන්කන් _ විමර්ශනය කිරීමට කොමිසමක් පත් කරන තුරු මම මඟ බලාගෙන ඉන්නවා. පත් කළොත් සාක්කි දෙන්න විශාල පිරිසක් සූදානම්"
(නාත්තන්ඩිය)

"උඹලා මොන දූෂණ චෝදනා කළත් මම ඒවට උත්තර දෙනවා" යැයි සෘජුව කියාපාමින් මහින්ද එසේ පිළිතුරු දීම ගැන ඔහු වටා සිටින ප්‍රබලයන්ගේද සතුටට හේතු වී තිබිණි.

මෛත්‍රිගේ කතා දූෂණය පිටුදැකීමට එහා ගිය මාතෘකාවලින් සන්නද්ධ නොවීම නිසා එක්තරා විදියකට ඒකාකාරී බවක් ඉසිලීය. අවසන් වටයේදී ද ඔහු රනිල්ටත් මහින්දටත් හොඳ හැටි පහර දෙනවා හැර, ඒ දෙපැත්තේම ගාල් වූ මධ්‍යස්ථ ඡන්ද නැතිකර ගත්තා ඇර ලබා ගත් දෙයක් නැති තරම් විය "යූ.එන්.පී.යට පිටුපා තමන් තනි ගමනක් යනවා" යැයි ඉඟි පාමින් ඔහු කී කතා ඔහුටම අවාසි වූවාදෝ යි පෙනුණේය.
"හොඳ රටක් හදන්න හිතාගෙන එළියට බැහැලා ආවාට මෙතැන වන දේවල් හරි පුදුමයි. ඒ නිසා දූෂිතයන් එක්ක මින්පසු ආණ්ඩු කරන්නෙ නෑ".
මෛත්‍රි පොළොන්නරුවේදී එසේ කියමින් තමන් ගොඩ ගියා යැයිද, මධ්‍යස්ථ ඡන්ද ද තමන් වෙත ළඟා වුණායි සිතන්නට ඇත.
රනිල්, මෛත්‍රිගෙනුත්, මහින්දගෙනුත් බැට කමින් ඒ කිසිවකුට එකට එක කියා උත්තර බඳින්නට ගියේ නැත. එ.ජා.ප.ය අති දුෂ්කර අඩියකින් යාන්තම් හිස ඔසවා ගත් බවත්, කෙසේ හෝ බලයට පැමිණි බවත්, ඒ බලය යම්කිසි හෙයකින් අතහැරීමට හේතුවන යමක් කළොත් "ඉතින් උඹලා අනාථයි" යැයි නොකියා කියමින් කතා කරන්නට ප්‍රවේශම් වූයේය. රනිල් එ.ජා.ප.යේ අවසන් රැලිය පැවැති කොළඹ කොස්ගස්හන්දියේදී කියූවක් මෙසේය.
"එ.ජා.ප.ය නමැති ගසේ මල් පිපෙන කාලයේ මල් නෙළා ගැනීමට නම් ජයග්‍රහණය රැක ගත යුතුයි. ඒක පාක්‍ෂිකයන්ගේ වගකීමක්. 2020 දී එ.ජා.ප.ය තනි ආණ්ඩුවක් හදන පළමු වෙඩි මුරය මෙදා ඡන්දෙදි තියමු"

අවසන් සතියේ ඔහුගේ ගාල්ලේ හා කොස්ගස්හන්දියේ රැලිවලට විශාල ජනතාවක් රැස්වූ බවක් පෙනුණේය. කොළඹ රැස්වීම එහි සංකේතයක් සේ විය.
අනුර කුමාර දිසානායක ජ.වි.පෙ. අවසන් රැලිය තිබුණු මහරගමදී කියූ කතාවෙන් තැනක මෛත්‍රිට එල්ල කළේ තියුණු වාග් ප්‍රහාරයකි.
"මොට්ට වෙච්ච කඩුවක් අරන් ආවට කාගෙවත් බෙල්ල කපන්නත් බෑ. කැපෙන්නෙත් නෑ. මේ ඡන්දෙදී ජ.වි.පෙ.ට ලැබෙන ප්‍රතිඵලය රටේ අනාගතයට තීරණාත්මකයි"
කෙසේ වෙතත් මැතිවරණයේ කටයුතු සියල්ල නිමාවට පත් වෙමින් තිබෙන මොහොතක් වුවද මෙයින් පසු දේශපාලන කරළියේ තිරයේ පිටුපස රහසිගත ජවනිකා රැසක් රඟ දැක්වෙමින් තිබේ. ප්‍රතිඵලයෙන් අනතුරුව රට යන්නේ කොතැනකටදැයි සිතා ගන්නට ජනතාවට තවත් ටිකක් බලා ඉන්නට සිදුවනු ඇත.

මෛත්‍රි - රනිල් _ මහින්ද සාධකයේ බල පෙරළියත්, අනතුරුව වෙනස් වන බල අරගලයත් හමුවේ රටත් ජනතාවත් තියුණු අභියෝග රැසකට මුහුණ දෙමින් තිබෙන්නේය. ජනතාවට ජීවත් වීම උදෙසා මීටත් වඩා දුෂ්කරතාවනට ඉදිරියේදී පත්වන්නට සිදු වන්නේය යන අදහස්ද මතුවෙයි. ආණ්ඩුව රට කළ කලින් අයගේ ආණ්ඩුවේද ණය උසුලා ගනිමින් තවදුරටත් කොතරම් කලක් යාදෝයි කියන්නට බැරිය. විගණකාධිපති කියන හැටියට පසුගිය දශකයේ රාජ්‍ය ණය කළමනාකරණය අවුලෙන් අවුලට ගොස්ය. ඇතැම් ණය මොනවාදැයි කියා හඳුනාගන්නට බැරි ආකාරයට සටහන් වීද නැත. රටේ එක් පුද්ගලයකු හෝ නොදැන රට ණය වී ඇති ප්‍රමාණය ලක්‍ෂ 4ට නැඟලාය. රටක් ණය වී ඇති ආකාරය ඒ රටේ විගණකාධිපතිටවත් සොයා ගන්නට බැරි තරම් අවුල් වී නම් එහි බරපතළකම වටහා ගත හැකිය.

මේ අර්බුද මැද පළාත් පාලන ආයතනවලට පත්වූ අලුත් මන්ත්‍රිවරුන් පිරිස නඩත්තු කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 1400ක් වැය කිරීමට සිදුවන්නේය.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු රට තවත් දේශපාලනමය අවුල් රැසකට මුහුණ දී තව තවත් තත්ත්වය සංකීර්ණ වුවහොත් එයද ජනතාවට පක්‍ෂ භේදයකින් තොරව දරන්නට සිදු වන්නේය. ගමේ පාරට තාර ටිකක්, පොට්ට වෙච්ච ලයිට් කණුවට විදුලි බල්බයක්, කැඩුණු බෝක්කුවට අලුත් එකක් වැනි ගමේ වැඩක් කරගන්න තෝරා ගන්න මන්ත්‍රිවරයා හෙට ඉඳන් ගමේම ඉඳ වැඩ පටන් ගන්නවා නම් හොඳය. එය පාට කිහිපයක් හෝ එකතුව "වැඩක් කරමු" ය යන හැඟීමෙන් කරන්නේ නම් හොඳය. එහෙත් එය අවිනිශ්චිත බව තවමත් ජනතාව සිතන්නේ පෙර වැරැදි කළ උන් ගැන දන්න නිසාය.

කෙසේ වෙතත් 2015 මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු අප පුවත්පත මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන් විමසූ ප්‍රශ්න 2කට උන්වහන්සේ දුන් පිළිතුරු යළි පළ කිරීම අදටත් ගැළපෙන්නේය.
මව්බිම _ අලුත් ආණ්ඩුව රටේ මිනිසුන්ට මුලින්ම කරන්න ඕන මොකක්ද?
සෝභිත හිමි _ මිනිසුන්ගේ ජීවන බර අඩු කරන්න ඕන. ඒ වගේම මේ රටේ ගොවියන්ගේ නිෂ්පාදනවලට නියමිත මිලක් නිකුත් කරන්න ඕන. නිකම් පනත් සම්මත කරලා වැඩක් නෑ.

මව්බිම _ ජයග්‍රහණය ලබන පාර්ශ්වවල පාක්‍ෂිකයනුයි පක්‍ෂ නායකයනුයි හැසිරෙන්න ඕන කොහොමද?
සෝභිත හිමි _ පක්‍ෂයට වඩා රට ඉදිරියෙන් තියා ගත්තොත් හොඳ ගමනක් යන්න පුළුවන්. පෞද්ගලික න්‍යාය පත්‍ර ඉස්සරහට ගන්නේ නැතිව වැඩ කරන්න ඕන. ඒ වගේම ජයග්‍රහණය ඉතාමත් නිහතමානීව භාර ගන්න ඕන. පළි ගැනීම්වලින් තොරව සුදුස්සන්ට සුදුසු තැන දීලා සතර අගතියෙන් තොරව රට පාලනය කරන්න ඕනෑ.
(2015/08/19 බදාදා)

එය එසේම වේවිද? ඒ සඳහා ඔබට තවත් කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon