අර්ජුන ඇලෝසියස් කසුන් පලිසේන අත්අඩංගුවට ගත්තු මෙහෙයුම මෙන්න...

  👤  3186 readers have read this article !
By mawbima 2018-02-11

ඡන්ද උණුසුමද දෙවැනි කරමින් ඉකුත් සතිය උණුසුම් කළ ආන්දෝලනාත්මක පුවත වූයේ මහ බැංකු බැඳුම්කර කොල්ලයේ නමගිය කෙරුම්කාරයන් දෙදෙනකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව කතා පුවතයි.

නිදහස් දිනය (පෙබ.04) උදාවූයේ කොතෙක් චෝදනා තිබුණද එතෙක් නිදහසේ සිටි/ සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම් හිමිකාර අර්ජුන් ඇලෝසියස් හා එම සමාගම් සමූහයේ ප්‍රධාන විධායක කසුන් පලිසේනද අත්අඩංගුවට ගත් පුවතත් සමඟය.
මහ බැංකු මහා බැඳුම්කර කොල්ලයට සෘජුවම සහාය වූ ප්‍රධාන ක්‍රියාකාරීන් දෙදෙනකු බවට අනාවරණය වූ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේ බැඳුම්කර විමර්ශන කොමිසමේ වාර්තාව අනුව යැයි ප්‍රචාරය විය. එහෙත් සැබෑව එය නොවේ.

වර්ෂ 2016 නොවැම්බර් මස 25 වැනි දින වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ 2015 - 2016 ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු "රහස්‍ය වූ මූල්‍ය සංවේදී තොරතුරු" පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට හෝ වෙනයම් අයකුට රහසේම ලබාදී හෝ ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ ගැන විමර්ශනයක් කරන ලෙසය.
පොලිස්පතිවරයා විසින් එම විමර්ශනය භාර කරන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරටය.
ඒ අනුව ආරම්භ වූ විමර්ශනය රහස් පොලිසියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරි පියසේන අම්පාවිලගේ මෙහෙයවීමෙන් දියත් වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉකුත් පෙබරවාරි මස 02 වැනිදින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අංක 51 දරන බී වාර්තාව රහස් පොලිසිය විසින් ඉදිරිපත් කරනු ලැබීය.

අපරාධ විධිවිධාන සංග්‍රහයේ 115 (1) උප වගන්තිය ප්‍රකාරව එතෙක් පවත්වන ලද විමර්ශන පිළිබඳ දළ වාර්තාවක් හා සාක්ෂි සම්පිණ්ඩනයක්ද ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය දන්වා සිටියේ සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් පෞද්ගලික සමාගමත් එහි හිමිකාරිත්වය දරන අර්ජුන් ඇලෝසියස් හා එම සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි පලිසේන අප්පුහාමිලාගේ ‍ෙදාන් කසුන් ඕෂධී පලිසේන යන අයවලුන් හා හිටපු මහ බැංකු අධිපති වූ සිංගප්පූරු පුරවැසියකු වන අර්ජුන මහේන්ද්‍රන් යන අය විසින් අපරාධ විධිවිධාන සංග්‍රහයේ හා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු අපරාධ වරදවල් 07ක් සම්බන්ධයෙන් වගකිවයුතු බවට කරුණු අනාවරණය වී ඇති බවය.
එම කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහෙස්ත්‍රාත්වරිය එම සියල්ලන් 'බී' වාර්තාව මඟින් සඳහන් කොට ඇති චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කළාය. ඒ වනවිටත් රටින් බැහැරව ගොස් ඇති බවට රහස් පොලිස් නිලධාරීන් විසින් වාර්තා කරනු ලැබූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට පෙබරවාරි මස 15 වැනි දිනට පෙර දිවයිනට පැමිණ අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තුව හමුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ ඊළඟ සැලසුම වූයේ අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේනද රටින් පැන යෑමට පෙර කොටු කර ගැනීමය.
ඒ අනුව පෙබරවාරි 4 වැනිදා නිදහස් දිනය දා තම ඉලක්කය කරා ළං වූ රහස් පොලිස් කණ්ඩායම් දෙකක් වැල්ලවත්ත හා කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශවලට සේන්දු වූහ.
උදෑසන කුරුඳුවත්ත ප්‍රදේශයට පැමිණි රහස් පොලිස් කණ්ඩායම "ෆ්ලවර් රෝඩ්" මංසන්ධියට නුදුරුව පිහිටි ආරක්ෂක මුරකාවල් යොදා තිබූ නිවෙසක් වටලනු ලැබීය. පොලිසිය සිය අනන්‍යතාවය තහවුරු කළද එහි ‍ෙදාරටුව විවර කිරීමට ආරක්ෂකයෝ ප්‍රතික්ෂේප කළහ.

නිමේෂයකින් උස් තාප්පයෙන් පනිනු ලැබූ නිලධාරීන් දෙදෙනකු එම පරිශ්‍රයට පිවිස වහා ‍ෙදාරටුව විවර කරද්දී පොලිස් කණ්ඩායම නිවස තුළට ඇතුළු විය.
ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට පැමිණෙන ලෙස කරන ලද දැනුම්දීමටද අවනත නොවී සාක්ෂි දීමෙන්ද වැළැකී සිටි අර්ජුන් ඇලෝසියස්ට පොලිස් නිලධාරීන්ට අවනත වනවා හැර කළ හැකි වෙනත් යමක් නොතිබිණි.
ඇලෝසියස්ගෙන් පොලිස් නිලධාරීන්ට කිසිදු විරෝධයක් එල්ල නොවීය. ටයිකෝට් සහිත පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසෙන්නට අවසරය ලබාගත් ඔහු අනතුරුව පොලිස් නිලධාරීන්ට භාර විය.

මේ වන විටත් මේ වැටලීම මාධ්‍යයට ඉව වැටී තිබිණි.
එහෙත් ඇලෝසියස් බිරිය හෙවත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ දියණිය මාධ්‍යවේදීන්ට හරස් කපන්නට වූයේ පෞද්ගලික දේපළක් වන තම පරිශ්‍රයට හෝ එම මාර්ගයට පිවිසීමට ඉඩදිය නොහැකි බව පවසමිනි. ඇය පොලිස් නිලධාරීන්ගෙන්ද මධ්‍යවේදීන්ගේ පැමිණීම වළක්වන ලෙසට ඉල්ලා සිටියාය.
එහෙත් ඒ වන විටත් මාධ්‍යවේදීහු අදාළ සිදුවීම් සියල්ල වාර්තා කර ගෙන තිබුණහ.
මේ අතර අනෙක් රහස් පොලිස් කණ්ඩායම ළඟා වූයේ බම්බලපිටිය පසුකර වැල්ලවත්ත ප්‍රදේශයටය. වැල්ලවත්තේ "ආර්තුෂා" පටුමඟට පිවිසි ඔවුහු කසුන් පලිසේන ඒ මොහොතේ රැඳී සිටි නිවෙස වටලනු ලැබූහ.
ඇලෝසියස්ද තමන් අත්අඩංගුවට ගත්බව පවසද්දී පලිසේනටද එම පොලිස් කණ්ඩායමට අවනත වීම හැර වෙනත් විකල්පයක් නොවීය.
සිය ඉලක්කය සපුරාගත් එම පොලිස් කණ්ඩායමද අනෙක් පොලිස් කණ්ඩායම සිටි ස්ථානයට කලින් කතිකා කරගත් පරිදි සේන්දු විය. අනතුරුව ඉහළ නිලධාරීන්ගෙන් ඒ මොහොතේ ලැබුණු උපදෙස් මත සැකකරුවන් දෙදෙනා දැඩි රැකවල් මධ්‍යයේ කොටුව අපරාධ පරීක්ෂණ මූලස්ථානය වෙතට රැගෙන ගියේය.
ඇලෝසියස්, පලිසේන අත්අඩංගුවට ගත් පුවත විදුලි වේගයෙන් පැතිර ගියේය.
රහස් පොලිස් මූලස්ථානය නීතිඥයන්ගෙන් වැසී යන්නටද ගතවූයේ සුළු කාලයකි.
පොලිස් භාරයට ගත් අර්ජුන් ඇලෝසියස්ට හා කසුන් පලිසේනට එම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීම ඔවුන්ට එරෙහිව ඇති සංඥය වරදවල් පිළිබඳව පැහැදිලි කෙරිණි. ඔවුන් අත්අඩංගුවට ගන්නේ එම පැහැදිලි කිරීමෙන් අනතුරුවය. පොලිස් කණ්ඩායම් දෙකම එලෙස ක්‍රියාකර තිබූ බැවින් තමනට පළ කළ හැකි විරෝධයක් නොමැති බැව් ඔවුන් වෙනුවෙන් බුරුතු පිටින් කඩාවැදුණු නීතිඥවරුන්ට වැටහී ගියේය. අනතුරුව ඔවුහු තම සේවා දායකයන් අධිකරණය හමුවට රැගෙන එන තෙක් බලා සිටියහ.
එහෙත් ඔවුන්ගේ එම බලාපොරොත්තුද බිඳ දමමින් ඇලෝසියස් හා පලිසේන යන දෙදෙනාගෙන් එදින රාත්‍රි 10.30ද පසුවන තෙක් ප්‍රකාශ සටහන් කරගන්නට රහස් පොලිස් නිලධාරීහු කටයුතු කළහ.
ඉන් අනතුරුව මහ බැංකු වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගත්තේය. අනතුරුව එම අපරාධ සිද්ධි මාලාවේ (චෝදනා 7කට) 2වැනි හා 4 වැනි සැකකරුවන් ලෙස නම් කළ අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන අධිකරණය හමුවට රැගෙන ගියේය. ඒ වන විටත් එදින මධ්‍යම රාත්‍රියටද ළංවෙමින් පැවැතියෙන් රහස් පොලිස් නිලධාරීන්ට මෙම සැකකරුවන් අධිකරණ ශාලාවකට ගෙන යෑමේ හැකියාවක් නොවිණි. කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය දුරකතන මාර්ගය ඔස්සේ සම්බන්ධ කරමින් ලබාගත් අවසරය මත එතුමියගේ නිවස්නය සොයා හෝමාගම - අතුරුගිරිය ප්‍රදේශයට සේන්දු වූහ.
මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ සැකකාර ඇලෝසියස් හා පලිසේනට තම අත වූ චෝදනා පත්‍රය (බී වාර්තාව) කියවා දුන් රහස් පොලිස් නිලධාරීන් ඉල්ලා සිටියේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙමින් පවතින බැවින් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතව තැබීමේ බරපතළ අවශ්‍යතාවක් උද්ගතව ඇති බවය.
එම වාචකය පිළිගත් විනිසුරුතුමිය පසුදින (05දා) තෙක් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් වැලිකඩ මැගසින් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තබන ලෙසටත් නියෝග කළාය.
එදින රැයේ ඉතිරි පැය කිහිපය මේ දෙපළට නින්දක් නොවිණි. ඊළඟ පියවරට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව කතාබහ කරමින් ඔවුහු සිර මැදිරිය තුළ නිදිවර්ජිතවම රැය පහන් කළහ.

5 වැනිදා උදෑසන එක් පැත්තකින් මෙම සැකකාර ඇලෝසියස් හා පලිසේන අධිකරණය හමුවට රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීහු යුහුසුළු වූහ.
රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායම රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ උපදෙස් ලබමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරි පියසේන අම්පාවිලගේ මෙහෙයවීමෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානමින් සිටියහ. ඒ අපරාධ චෝදනා 07 සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව කරුණු දැක්වීම සඳහාය.

සැකකාර අර්ජුන් ඇලෝසියස් හා සැකකාර කසුන් පලිසේන වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ප්‍රමුඛ නීතිඥ මණ්ඩලය සැකකරුවන් ඇප මත මුදා ගැනීම සඳහා පෙළගැසී උන්හ.

මේ අතර නීතිපතිවරයා නියෝජනය කළ ජේ‍යෂ්ඨ
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ අධිකරණය ඉදිරියට පැමිණියේය. ඔහු පසුපසින්ම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර පෙරටු කරගත් ලක්මිණි ගිරිහාගම හා උදාර කරුණාරත්න සහ රජයේ නීතිඥ මණ්ඩලයද අධිකරණ ශාලාවට පිවිසුණහ.
අධිකරණ ශාලාව වෙත රැගෙන ආ ඇලෝසියස් හා පලිසේන යන සැකකරුවන් දෙදෙනා අනෙකුත් රැඳවියන් සමඟම අධිකරණ සිරිමැදිරිය තුළ රැඳවූයේය. පැමිණිල්ල අඬ ගැසූ මොහොතේ ඔවුන් දෙදෙනා විත්තිකාර කූඩුවට නංවනු ලැබීය.

තෝල්ක මුදලිවරයා නම් අඬගැසීමෙන් අනතුරුව විත්තිකාර කූඩුවට නැංවූ සැකකරුවන්ට ඇසෙන සේ ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති සාපරාධී අපරාධ චෝදනා 07 විස්තර කරනු ලැබීය.

එකී චෝදනාවන්ට තමන් වරද පිළිගන්නේද
පිළිනොගන්නේදැයි කළ විමසුමේදී ඔවුන් දෙදෙනාම කියා සිටියේ තමන් නිවැරැදිකරුවන් බවය.
ඒ අනුව පැමිණිල්ල මෙහෙය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් දෙදෙනාට එරෙහිව නඟා ඇති සාපරාධී අපරාධ චෝදනා විභාගයට ගැනීමට විනිසුරුවරිය නියම කළාය.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් සිය 'බී' වාර්තාව මඟින් ප්‍රකාශ කොට ඇති පරිදි 'පොදු දේපළ පනත' යටතේ හෝ එමෙන්ම 'සාපරාධී අයුතු පරිහරණය' හෝ 'සාපරාධී විශ්වාසය කඩකිරීමේ' චෝදනාවන් තම සේවාදායකයන් දෙදෙනාට එරෙහිව නැඟීම සඳහා ප්‍රමාණවත් පදනමක් නොමැති බැවින් ඔවුන් දෙදෙනාට ඇප ලබාදීමට පියවර ගන්නා ලෙසය.

තවද ඔහු අවධාරණය කර සිටියේ මෙම ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර වෙන්දේසි සම්බන්ධයෙන් විමර්ශනයක යෙදුණු ජනාධිපති කොමිසමේ වාර්තාව මඟින් තම සේවාදායකයන් විසින් සාපරාධී අපරාධයක් සිදුකර ඇති බවට කිසිදු සඳහනක් නොමැති බවත් කරුණු එලෙස තිබියදී අපරාධ පරීක්ෂණ නිලධාරීන් පදනම් විරහිතව තම සේවාදායකයන් දෙදෙනාට එරෙහි මෙම සාපරාධී අපරාධ චෝදනා නඟා ඇති බවත්ය.
ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ දීර්ඝ ලෙස කරුණු ගෙනහැර දක්වමින් කියා සිටියේ,

මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේත් මෙම ගරු අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලද්දේත් බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ ජනාධිපති කොමිසමේ වාර්තාව හෝ නිර්දේශ මත බවට උගත් විත්තියේ නීතිඥවරයා කරන ලද ප්‍රකාශය සාවද්‍ය බවය.
මෙම සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙනමම පවත්වන ලද විමර්ශන හා පරීක්ෂණ මත මෙම සාපරාධී අපරාධ සිදුකර ඇති බවට ප්‍රමාණවත් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු මෙම නඩු කටයුත්ත ආරම්භ කරන ලද බවත්,

තවද එම පරීක්ෂණ ආරම්භ කරන ලද්දේ වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් 2016 නොවැම්බර් මස පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් අනුව බවත්ය.
එමෙන්ම මෙම සැකකරුවන්ටත් පළමුවන සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ටත් එරෙහිව මෙම සාපරාධී අපරාධ හා සම්බන්ධ කරුණු අනාවරණය කරගත හැකිවූයේ 2015 පෙබරවාරි මස 27 වැනි දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී පමණක් සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව සිදුකළ විමර්ශනයේදී බවද, කෝදාගොඩ කියා සිටියේය.

ඊට අමතරව තවත් සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවතවත් කරුණු අනාවරණය කරගනිමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තවද මෙම සැකකරුවන්ට එරෙහිව මෙම නඩු කටයුත්ත ආරම්භ කොට ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පූර්ණ නිරීක්ෂණයන්ගෙන් පසුව බවද 1937 අංක 7 දරන ලියාපදිංචි රාජ්‍ය ස්කන්ධ හා සුරැකුම් ආඥා පනතේ ඉබචබඥ ඉබධජඬඵ චදඤ ඉඥජභපඪබඪඥඵ ර්ණීපඤඪදචදජඥ 4 වැනි ඡේදය ප්‍රකාරවත්. 1982 අංක 2 දරන රාජ්‍ය දේපළ පනතේත් (ර්ථීභඡතඪජ ර්ථීපධනඥපබර ඒජබ) 5(1), ඡේදයේත් දණ්ඩනීති සංග්‍රහයේ (ර්ථීඥදචත ඛ්ධඤඥ) 386 ඡේදයේ දැක්වෙන සාපරාධී අයුතු පරිහරණය (ඛ්පඪථඪදචත - ර්ඪඵචනනපධනඪචබඪධද) හා 388 ඡේදයේ දැක්වෙන සාපරාධී විශ්වාසය කඩකිරීමේ (ඛ්පඪථඪදචත ඕපඥචජඩ ධට ඊඩපභඵබ) චෝදනා යටතේත් තවදුරටත් අපරාධ විධිවිධාන සංග්‍රහයේ 102 හා 113(ච) යන චෝදනා යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපති නිර්දේශය ලබාදී ඇති බවද අධිනීතිඥ කෝදාගොඩ අධිකරණයට කියා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් අවසානයේ විනිසුරුවරිය ප්‍රකාශ කර සිටියේ දීර්ඝ වශයෙන් දෙපාර්ශ්වයම ඉදිරිපත් කරන ලද කරුණු අඩංගු ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් පැමිණිල්ල විභාගය පෙබරවාරි මස 16 වැනි දිනට කල්තබන බවත් ඇප ඉල්ලීම පිළිබඳව සිය තීන්දුවද එදිනට ලබාදෙන බවත්ය.

කමල් මහේන්ද්‍ර වීරරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon