වැදූ මවට එපා වී ළිඳට විසිකළ කිරිකැටියාව දිවි පරදුවට තබා බේරාගත් රත්තරන් පුතා

  👤  3354 readers have read this article !
By mawbima 2018-02-11

දැයට මතක හිටින විස්මිත වික්‍රමයක් කළ පුංචි වීරයකු ගැන පසුගියදා කරන්දෙණිය, කුරුළුකන්ද, අඟුරුවාගල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මේ පුංචි වීරයා නොසිටින්නට මෙම සටහන ලියන්නට සිදුවන්නේ වීර කතාවක් ලෙසින් නොව අසරණ වූ මාස 14ක් වයසැති සිඟිති කිරිකැටියකුගේ නිසල සිරුර පාළු ළිඳකින් සොයාගත් ආකාරයයි. එවැනි අවාසනාවන්ත සිද්ධියක් වාර්තා කිරීමට තරම් මාධ්‍යවේදියාගේ පන්හිඳ පවු කර නොතිබ්බේ මේ අපේ කුඩා වීරයාගේ වීර ක්‍රියාව හේතුවෙනි. මෙම සිද්ධිය විවර කිරීමට මත්තෙන් තවත් එක් දෙයක් කිව යුතුය. 'යේ ධම්මා හේතුප්පභවා' යයි බුදුන් වහන්සේ වදාළහ. මේ සිද්ධියට හේතු පාදක වූ කරුණු ගැන ලියන්නට තරම් සුදුසු වෙලාව මෙය නොවුණත් ඒ කිරිකැටියා ළිඳට දමන්නට හේතු පාදක වූ කරුණ කුමක්ද? යන්න ගැන සිතන විට මේ දරුවාගේ පියා ගැන සඳහන් නොවීමම මෙයට හේතුවක් වන්නටද බැරිකමක් නැත. කෙසේ වුවද මෙම සිද්ධියේ මුල් වැරැදිකරුවා හෝ වැරැදිකරුවන් අද නිදැල්ලේ සතුටින් සිටින්නටද බැරිකමක් නැත. සිද්ධියට සම්බන්ධ කාන්තාව නිවැරැදිකාරිය යැයි අපි කිසිවිටත් නොකියමු. කෙසේ වුවද ඇය අද වන විටත් බන්ධනාගාරයේය.
මෙහි වැරැදිකරුවන් සෙවීම අධිකරණය සතු කාර්යයකි.

හරියටම පෙබරවාරි මස 01 වැනිදා මෙවන් අවාසනාවන්ත සිද්ධියක් සිදුවේ යැයි කිසිවකු සිහිනෙන්වත් නොසිතන්නට ඇත. අපි මේ දිගහරින්නට සැරසෙන්නේ තම කුසින් මෙලොවට බිහි කළ හය හතර නොදන්නා මාස 14ක් වයසැති තම කුලුඳුල් සිඟිති කිරිකැටියා කිසිවකු නොමැති අවස්ථාවකදී අඩි 23ක් ගැඹුරු අඩි 12ක් ජලය පිරි ළිඳකට විසිකර තිබියදී දිවි නොතකා ළිඳට පැන දරු පැටියා බේරාගත් පසිඳු මධුෂාන් වීරයා ගැන මිස දරුවා ළිඳට විසිකළ කාන්තාව ගැන නොවේ. එදින ප.ව. 3.45ට පමණ දිය නාමින් සිටි පසිඳුගේ සවනට ඇසී ඇත්තේ අනේ මගේ රත්රන් පුතා කවුදෝ ළිඳට දැම්මා යන ළතෝනිය හා අවට නිවැසියන්ගේ කලබලයයි. කාට හෝ විපතක් බව දැනගත් අයි.ඩී. පසිඳු මධුෂාන් නාන ඇඳුම් විසිකර දමා කොට කලිසමක් ඇගේ දවටාගෙන සිද්ධිය වූ ස්ථානයට දිව ගියේ පවනට බඳු වේගයෙනි.
ඒ වන විටත් දරුවා ළිඳට දමා විනාඩි 30කට අධික කාලයක් ගතවී ඇත. කෙසේ වුවද අඩි 23ක් ගැඹුරු අඩි 10කටත් වඩා උසට වතුර පිරී තිබුණු ළිඳට බැසීමට අඩි 05ක් තරම් උස මේ කොලු ගැටයා දෙවරක් සිතුවේ නැත. මේ දරුවා උඩුබැලි අතට පාවෙනු දුටු පසිඳු වහාම ළිඳට පැන්නේ තම දිවි පරදුවට තබමිනි.
අප නිවෙසට යන විට නිවෙසේ කිසිවකු නොසිටි අතර අපි ඔහු සොයා ගියෙමු. ඔහු තැන්පත් සිතින් සිද්ධිය විස්තර කළේ මෙසේය.

'ඇත්තෙන්ම මම දැන් සිය වාරයකට වැඩිය ඔය කතාව කියලා තියෙනවා. ඒත් කියන විට සතුටුයි. ප්‍රසිද්ධියක් බලාගෙන නෙවෙයි ඔය වැඩේ කළේ. ඒ දරුවගේ ජීවිතේ බේරගන්න ඕන කියලා මම අධිෂ්ඨාන කරගත්තා. මම දෙවියන්, බුදුන් සිහිකරලා මේ දරුව බේරගන්න ලැබේවායි කියලා ක්‍ෂණිකව ළිඳට බහින්න තීරණය කළා. ඒ වෙලාවේ මගේ මතකයේ හැටියට එක්කෙනෙක් දෙන්නෙක් වගේ එතැන හිටියා මට හිත හිතා ඉන්න වෙලාවක් නැහැ. මම පරක්කු වුණොත් දරුවගේ ජීවිතේ බේරගන්න බැරි බව මට තේරුම් ගියා. දරුවාගේ කෙඳිරියක් වගෙත් ඇහුණා. ළිඳට එබිලා බැලුවා. ඒක ගැඹුරුයි. ඒත් හිතට බයක් දැනුණේ නැහැ. මම කිසිම ආධාරකයක් නැතිව ළිඳේ ගැට්ටට කකුල තියලා ළිඳට බැස්සේ අවසිහියෙන් වගේ. බැස්සද පැන්නද කියලවත් හිතාගන්න බෑ. කොහොම වුණත් මගේ ඇඟපත තුවාල වෙලා රිදුම් දෙන්න ගත්තා.

ඒවා ගැන හිතන්න මට වෙලාවකුත් තිබුණේ නෑ. මේ දරුවා වතුරෙ මුණින් අතට පාවෙමින් හිටියෙ. එයා දෝතට ගන්න උත්සාහ කළා. ඒක හරි අමාරු වැඩක්. දරුවා එහෙ මෙහෙ පාවෙනවා, ලිස්සලා යනවා. මමත් වතුරෙ පාවෙමිනුයි ඒ භාරදූර වැඩේ කරන්න ඕන. පස්සේ මේ දරුවා උඩුබැලි අතට හරව ගත්තා. පස්සේ මගේ කකුල් දෙකට තද කර ගත්ත. මටත් වතුර පෙවුණා. පස්සේ මම කෑ ගහල උඩ ඉන්න අයට කිව්වා දරුවා උඩට ගන්න මොකක් හරි එවන්න කියලා පස්සේ කවරයක් කඹයක ගැට ගහලා ළිඳ ඇතුළට දැම්මා. පරිස්සමෙන් දරුව බෑග් එකට දැම්මා. කට්ටිය දරුවා උඩට ගත්තා. ඒ වෙනකොට දරුව මැරිල වගේ තමයි හිටියේ. සිහිය තිබුණේ නැහැ. දැන් මට මහන්සියි. ගොඩට එන්න තියා හිතන්නවත් බැහැ. මගේ ධෛර්යය දැන් තවත් වැඩියි. මම වතුරෙ දඟලන විට උඩ සිටි කෙනෙක් ලී කැබැල්ලක් දැම්මා. ඒක ළිඳ ගැට්ටට උස මදි. පස්සේ ඒ ලීය ළිඳේ හරහට දාගත්තා. ඒක උඩ ඉඳගෙන බඩ ගාගෙන වගේ ගොඩට එන්න උත්සාහ කළා. ඒක අසීරුයි. දෙපාරක් විතර ආපසු ළිඳටම වැටුණා. කොහොම හරි ආශ්චර්යයක් වගේ මම ළිං කටින් ගොඩට ආවා. මම උඩට එනකොටත් දරුවා රෝහලට ගෙනිහින් තිබුණා. පස්සේ දරුවාගේ විස්තර මම දැනගත්තා. සුවය ලබන බව දැනගත්තම දැනුණේ මුළු ලෝකයම දිනුව වගේ හැඟීමක්. ඒක වචනවලින් කියන්න බැහැ. පස්සේ කරන්දෙණිය පොලිසියෙනුත් මට මහත් සේ ස්තුති කළා. ඒ වගේම ගමේ අය මාව මහත් සේ ඇගයුවා.

පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සියලුම දෙනා මාව ගෙන්නලා ඇගයීම් කළා. උපහාර දැක්වූවා. ඒක මට ජීවිතයේ කවදාවත් ලැබෙන දෙයක් නෙවෙයි.
මම මඩකුඹුර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. සහෝදරියන් දෙදෙනකු පමණයි මට ඉන්නෙ. පවුලෙ එකම පිරිමි දරුවා මම. මගේ තාත්තා සරත් පියසිරි. අම්මා අයි.ඩී. පියවතී. අපේ ගෙදර අය බය වෙලා මට මොනව හරි වුණා නම් කියලා. ඒත් ඒ අයට හරිම සතුටුයි.

මෙම තරුණයාගේ විස්මිත ක්‍රියාවෙන් නැවත ජීවය ලැබුවේ ධනුක තුෂාන් නමැති දරු සිඟිත්තෙකි. මේ ගැන විස්තර දැන ගැනීමට ඔහු අධ්‍යාපනය ලැබූ මඩකුඹුර මහා විද්‍යාලයේ විදුහල්පති ධර්මදාස රාජපක්‍ෂ මහතා හමුවීමට ගියෙමි. මේ දරුවා 2014 වසරෙ තමයි විදුහලෙන් පිට වෙලා තියෙන්නේ. මට පළමුවෙන්ම ආරංචිය දුන්නේ කරන්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා. පාසලේ ආදි ශිෂ්‍යයෙක් වීර වැඩක් කරලා කියලා කිව්වා. මම විස්තර හොයලා බලලා දරුවාත් පියාත් දෙන්නාම පාසලට ගෙන්වාගෙන සිද්ධිය තහවුරු කරගත්තා. අපේ පාසලේ ප්‍රථම වරට නිදහස් උත්සවය හා ගුරු උපහාර උළෙල පෙබරවාරි 04 වැනි දින පැවැත්වුණා. ගුරුවරුන් වගේම ගමේ අය එකහෙළාම කිව්වා එදාට මේ දරුවා වෙනුවෙන් උපහාර උළෙලකුත් සංවිධානය කරලා ඇගයීමක් කරමු කියල. ඒ අනුව අපි ප්‍රභූ පිරිස් ගෙන්වල උපහාර උළෙල ඉහළින්ම කළා. ඒ දරුවාගේ වීර ක්‍රියාව ඇගයීම සතුටක් වගේම පාසලටත් ගෞරවයක්.

හැබැයි මම එකක් කියනවා. ඒක විශේෂයෙන් ලියන්න. මේ දරුවා අවදානම් වැඩක් කළේ. මොහු ජීවිතාරක්‍ෂක කටයුතු සඳහා පුහුණුවක් ලබල නැහැ. එමෙන්ම ප්‍රථමාධාර පුහුණුවකුත් නැහැ. ගම්වල ඉන්න මේ වගේ අය එකතු කරල පුහුණුවක් දීලා ගම්වල රඳවනවා නම් රටට සේවයක් වෙනවා. එය රජයේ යුතුකමක්.
කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතා හමුවීමි. ඔහු මෙසේ කීය.

සිද්ධිය දැනගත් වහාම පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගියා. අදාළ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළා. ඇල්පිටිය රෝහලේ වෛද්‍යවරු දැඩි වෙහෙසක් දරා ක්‍ෂණිකව ප්‍රතිකාර දී දරුවා කරාපිටියට යැව්වා. දැන් සුවය ලබමින් සිටිනවා. මේ මව කිව්වේ දරුවා පැහැරගෙන කිසිවකු විසින් ළිඳට විසිකළ බවයි. ඒත් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඇත්ත කියන්න සිදුවුණා. දරුවා ඇය විසින් ළිඳට විසිකළ බව පිළිගත්තා. ඇය නීත්‍යනුකූලව විවාහ වී නැති බව පෙනෙන්නට තිබෙනවා. කොහොම වුණත් දරුවා බේරාගත් මධුෂාන්ට අපි ස්තුති කරනවා. ඒ වෙනුවෙන් උපහාර උළෙලක් සංවිධානය කිරීම ගැන සතුටුයි.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දිම අලහකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිහාල් තල්දූව සහ සහකාර පොලිස් අධිකාරි දුලශාන් නාගහවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න ඇල්ගිරියගේ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon