නිමල්ට පැමිණිල්ලක්

  👤  4173 readers have read this article !
By mawbima 2018-02-11

දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා සහ විදුලි සන්දේශ අංශයේ ඉහළ නිලධාරියකුගේ අකාර්යක්ෂම හා ඍණාත්මක ක්‍රියා කලාපය හේතුවෙන් දුම්රිය විදුලි සංඥා සහ විදුලි සන්දේශ පද්ධතිය අඩපණ වී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට පැමිණිලි කර තිබේ.

දුම්රිය හරස් මාර්ග පද්ධතිය සඳහා වූ ව්‍යාපෘතිය යටතේ ඔහු විසින් 2014 සිට 2016 දක්වා දුම්රිය හරස් මාර්ග සංඥා සවිකර ඇත්තේ 12ක් පමණක් බවත් දුම්රිය හරස් මාර්ග 600ක් පමණ අනාරක්ෂිතව පැවැතීම හේතුවෙන් 2014 වසරේ අනතුරු 46ක්ද, 2015 වසරේ අනතුරු 68ක්ද, 2016 වසරේ අනතුරු 68ක්ද, සිදුවී ඇතැයි එම වෘත්තීය සමිති පෙරමුණ අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.

මේ ව්‍යාපෘතිය සඳහා රජයෙන් ලබාදුන් ප්‍රතිපාදන දිගින් දිගටම ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් 2014 වසරේදී සියයට 60ක්ද, 2015 වසරේදී සියයට 85ක්ද, 2016 වසරේ සියයට 95ක්ද, 2017 වසරේ සියයට 80ක්ද, ප්‍රතිපාදන නැවත මහ භාණ්ඩාගාරයට හරවා යැවීමට සිදුව ඇතැයිද අනාවරණය වෙයි.

දුම්රිය හරස් මාර්ග අනතුරු වැළැක්වීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් මඟින් දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා පුවරු 200ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පවා ලැබී තිබියදී එහි තාක්ෂණ වාර්තාව අභියෝගයට ලක්කරමින් ඔහු එම ව්‍යාපෘතිය නවතා දමන ලද බවද අනාවරණය වෙයි.
මහජන ජීවිත අනතුරට ලක් වීම වැළැක්වීම සඳහා හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා විසින් දුම්රිය හරස් මාර්ග ව්‍යාපෘතිය නියෝජ්‍ය අංශ ප්‍රධානියා වෙත භාරදුන් අතර ඔහු විසින් වසරකදී මාර්ග දුම්රිය සංඥා 50ක් සවිකිරීමට කටයුතු කළ අතර එම ප්‍රධානියා තම බලය යොදා ගනිමින් එම ව්‍යාපෘතිය කඩිනමින් ඉටු කිරීමට බාධා පමුණුවා තිබෙන බවද වෘත්තීය සංගම් පවසයි.

මොහුගේ ක්‍රියා පිළිවෙත පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේදීද චෝදනා සහ විවේචන එල්ල වී තිබියදී ඔහු සම්බන්ධයෙන් වගකිවයුත්තන් අවධානය යොමු නොකිරීම, ඔහුට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පරීක්ෂණය ප්‍රමාද කිරීම පිළිබඳවද වෘත්තීය සමිති පෙරමුණ අමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon