ඇලෝසියස්ට පලිසේනට ඇප දෙනවාට නීතිපති විරෝධය

  👤  3209 readers have read this article !
By mawbima 2018-02-11

අමිල අබේරත්න

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේනට ඇප ලබාදෙන ලෙස ඉල්ලා විත්තියේ නීතිඥයන් ඉදිරිපත් කළ ලිඛිත අයැදීමට අදාළව ඇප ලබාදීමට...විරෝධය පළකරමින් පැමිණිල්ලේ ලිඛිත දේශන නීතිපතිවරයා විසින් පෙරේදා (09දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රිය ජයසුන්දර, රජයේ ජේ‍යෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම ඇතුළු නීතිඥ කණ්ඩායමක් විසින් පැමිණිල්ලේ ලිඛිත දේශන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පසුගිය 7 වැනිදා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේනට ඇප ඉල්ලා ඔවුන්ගේ නීතිඥයන් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ලිඛිත ඇප අයැදුම්පතක් ගොනුකරනු ලැබීය.

ඉල්ලීම් පිළිබඳ සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසාවිනිසුරු ලංකා ජයරත්න දන්වා සිටියේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය සහ ඇප ලබාදීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ විරෝධතා පිළිබඳ නියෝගය මේ මස 16 වැනිදා ලබාදෙන බවය.

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට ගැනුණු අතර එදින රාත්‍රියේ ඔවුන්ව කොටුව මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පසුගිය 5 වැනිදා දක්වා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
අනතුරුව 5 වැනිදා නැවතත් කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 16 වැනිදා දක්වා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon