කොළඹ ශා. ජෝශප් හා ඉසිපතන කණ්ඩායම් ජනාධිපති කුසලාන අවසන් පූර්ව වටයට

  👤  3303 readers have read this article !
By mawbima 2017-06-20

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරනු ලබන අන්තර් පාසල් මයිලෝ පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ජනාධිපති කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට කොළඹ ශා. ජෝශප් කණ්ඩායම හා ඉසිපතන කණ්ඩායම සමත්ව සිටින අතර, අගමැති කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට කොළඹ ආනන්ද හා කුරුණෑගල මලියදේව විදුහල් කණ්ඩායම් සමත්ව සිටී.

මයිලෝ අනුග්‍රහයෙන් කොළඹ සුගතදාස පිටියේදී පැවැති අවසන් පූර්ව තරගවලදී ජනාධිපති කුසලාන වටයේ අවසන් පූර්ව තරගයක් සඳහා කොළඹ ඉසිපතන හා බම්බලපිටිය ශා.පීතර විදුහල් කණ්ඩායම් සුදුසුකම් ලබා තිබූ අතර, ලකුණු 22-20ක තියුණු ජයක් ලැබූ ඉසිපතන ක්‍රීඩකයන් අවසන් මහා තරගයට වරම් ලබාගත්තේය. එහිදී ඉසිපතන කණ්ඩායම ගෝල දිනුම් දෙකක්, එක් උත්සාහක දිනුමක් හා එක් දඬුවම් පහරක් වාර්තා කරගනිද්දී ශා. පීතර විදුහල් කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ එක් ගෝල දිනුමක්, උත්සාහක දිනුම් දෙකක් හා එක් දඬුවම් පහරක් පමණි.

මේ අතර ජනාධිපති කුසලාන වටයේ ප්‍රථම අවසන් පූර්ව වටයේ තරගයේදී ලකුණු 34-12ක් ලෙස මහනුවර ධර්මරාජ කණ්ඩායම පරාජය කිරීමට කොළඹ ශා. ජෝශප් කණ්ඩායම සමත් විය.

මේ අතර අගමැති කුසලාන වටයේ තවත් එක් අවසන් පූර්ව තරගයක් සඳහා කොටහේන ශා. බෙනඩික් විදුහල් කණ්ඩායම හා කුරුණෑගල මලියදේව විදුහල් කණ්ඩායම සුදුසුකම් ලබා තිබූ අතර, එහිදී ලකුණු 41-18ක් ලෙස ජයගත් කුරුණෑගල මලියදේව විදුහල් කණ්ඩායම කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායම සමඟින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

මෙම තරගාවලියේ අගමැති හා සභාපති කුසලාන අවසන් තරග 23දා පැවැත්වෙන අතර, ජනාධිපති කුසලාන අවසන් තරගය 24දා පැවැත්වීමට නියමිතව ඇත.

ඡායාරූප - අමිත තෙන්නකෝන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්