දුර්වල පිති හරඹය අපේ පරාජයට හේතුවයි

  👤  3295 readers have read this article !
By mawbima 2017-06-20

එංගලන්තයේදී පැවැති අටවැනි ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම ලකුණු 180කින් පරාජය කළ පාකිස්තානය ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් කිරුළ පළමු වරට හිමිකරගත් අතර, මෙම ජයග්‍රහණයේ වැඩි ගෞරවය ෆකාර් සමාන්ට හිමිවිය යුතු බව පාකිස්තාන නායක සර්ෆ්‍රාස් අහමඩ් පැවැසීය.

ඔහු එසේ පැවැසුවේ තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාකිස්තාන නායකයා පැවැසුවේ මෙම ජයග්‍රහණය තමන්ටත් තම කණ්ඩායමටත් දීර්ඝ කාලයක් අමතක නොවන තරගයක් ලෙස ඉතිහාස ගත වන බවය. "මේ ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන්ම ස්තුති කරන්න ඕන මගේ කණ්ඩායමට. ඔවුන්ගේ කැපවීම හා මහන්සිය තමයි මේ කුසලානය අපේ රටට ගෙන යෑමට අවස්ථාව සැලසුවේ. මේ ජයග්‍රහණයෙන් පස්සේ මම මගේ කොල්ලන්ට කිව්වේ තවත් ඉදිරියට ලොකු කාර්යයන් අපට පැවරිලා තියෙනවා. ඒක නිසා තවම ඉවර නැහැ කියලයි. ඇත්තටම මේ ජයග්‍රහණය පිටි පස්සෙ බොහෝ දෙනෙක් ඉන්නවා. පාකිස්තානු ඉනිම ඇදගෙන යන්න ලොකු සටනක් කරපු ඒ වගේම අයි.සී.සී. තරගාවලියක් සඳහා පළමුවරට සහභාගි වූ ෆකාර් සමාන් එහි ඉදිරියෙන්ම ඉන්නවා. ඊට අමතරව මොහොමඩ් අමීර්, ජුනයිඩ් ඛාන්, හසන් අලී, ඉමාඩ් වසීම්, සදාබ් ඛාන් මේ හැම කෙනාමත්, පාකිස්තාන කළමනාකාරීත්වයත් මෙම ජයග්‍රහණයේ පිටිපස්සේ ඉන්නවා" යනුවෙන් පැවැසූ සර්ෆ්‍රාස් තම කණ්ඩායම සහයෝගය ලබා දුන් පාකිස්තාන ජනතාවටත්, අන් සියලු දෙනාටත් බෙහෙවින් ස්තුති කරන බවද කීය.
මේ අතර අවසන් තරගයේ පරාජය සම්බන්ධයෙන් ඉන්දීය නායක විරාත් කෝලි පැවැසුවේ මෙම පරාජය අමතක කොට ඉදිරි තරගාවලි සඳහා මනස ශක්තිමත් කර ගත යුතු බවය.

"අපි අද (18දා) කළේ අපේ උපරිමය නොවෙයි. ඒක අපි පිළිගන්නවා. ඒත් අපි හොඳ ගමනක් ආව නිසා අපිට අපි ගැන ගෞරවයක් තියෙනවා. අවසන් තරගයේදී අපිට ලොකු පීඩනයක් තිබුණා. ඒ වගේ පීඩනයක් තියෙද්දී කොහොමද ක්‍රීඩා කරන්නෙ කියන අත්දැකීම අපි හැමෝටම ලැබුණා. ඒක ඉදිරියට අපිට ලොකු පිටිවහලක් වේවි" යනුවෙන් පැවැසූ ඉන්දීය නායකයා වේලාසනින්ම කඩුලු කිහිපයක් බිඳ වැටීම පරාජයට ප්‍රධාන වශයෙන්ම බලපෑ බවද කීය.

"අපේ හොඳම කඩුලු කිහිපයක් වේලාසනින්ම බිඳ වැටීම හොඳ දෙයක් නොවෙයි. අපි වැටුණේ එතැනයි. ඒ කඩුලු කිහිපයක් වැටුණත් ඉන් පස්සෙවත් අපිට එක් ලොකු සබඳතාවක් ගොඩනඟා ගත්තා නම් යමක් කරන්න තිබුණා. අපේ දුර්වල පිතිහරඹය තමයි මේ පරාජයට වග කියන්න ඕන. ඒ වගේම අපේ පන්දු රැකීම වුණත් පෙරදී වගේ හොඳ තත්ත්වයේ තිබුණේ නැහැ" යනුවෙන්ද අදහස් දැක්වූ ඉන්දීය නායකයා හාඩික් පාන්ඩියාගේ ඉනිම පිළිබඳව ප්‍රශංසා
කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්