22 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් විසිදෙදෙනෙක්

  👤  3292 readers have read this article !
By mawbima 2017-06-20

22 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිදෙදෙනකුගෙන් හා නිල පුහුණුකරුවන් හයදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සෙනසුරාදා (24දා) ඉන්දියාව බලා යෑමට නියමිත අතර ඔවුන් එහිදී මෙවර ශූරතාවලිය පැවැත්වෙන ඔඩිෂාහි බුවනේශ්වර් ක්‍රීඩාංගණයේදී එක්දින පුහුණු වැඩසටහනකටද සහභාගි වීමට සැලසුම් කර ඇත.

මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන ජූලි මස 6දා ආරම්භ වීමට නියමිතව තිබුණද ඊට පෙර ශූරතාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණයේම පුහුණුවීමට ඉන්දියානු මලල ක්‍රීඩා සම්මේලනය ශ්‍රී ලංකා කණ්ඩාමට අවස්ථාව ලබාදී ඇති අතර එමඟින් බුවනේශ්වර් ක්‍රීඩාපිටියේ තත්ත්වයන්ට හුරුවීමට ලැබීම ශ්‍රී ලංකා පිලට වාසිසහගත තත්ත්වයක්ද වනු ඇත. කෙසේ වෙතත් පසුගියදා නිමාව දුටු තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී සහ කිරිකිස්තානයේදී පැවැති විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඊට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිවකු එළැඹෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට අදාළ පරිසාධන මට්ටම් ඉක්මවා යෑමට අපොහොසත් වූ බැවින් පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැති තෝරා ගැනීම් තරගාවලියන් මඟින් සුදුසුකම්ලත් මූලික විසිදෙදෙනාගේ වෙනසක් සිදුකර නොමැත. එම තෝරා ගැනීමේ පෙරහුරු තරගාවලියේදී 15 දෙනකු නිසි පරිසාධන මට්ටම් ඉක්මවූ අතර ඊට අමතරව පරිසාධන මට්ටම් ආසන්නයටම පැමිණි නිර්මලී මධුෂිකා, ඉඳුනිල් හේරත් හා සංජය ජයසිංහ සමඟ සාග් මීටර් 100 රන් පදක්කම්ලාභී හිමාෂ ඒෂාන්ද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ය.

තවද නිල වශයෙන් සහභාගි වන පුහුණුකරුවන් හයදෙනාට අමතරව පුහුණුවීමේ අරමුණින් තවත් පුහුණුකරුවන් කිහිප දෙනකු තම තමන්ගේ ක්‍රීඩකයන් සමඟ මෙම සංචාරයට සහභාගි වීමට නියමිතය. සහභාගිවන ක්‍රීඩකයන් ධනුක ලියනපතිරණ (දුරපැනීම), විනෝජ් සුරංජය ද සිල්වා (මීටර් 100, 200, 4×100), අජිත් ප්‍රේමකුමාර (මීටර් 400, 4×400), දිලිප් රුවන් (මීටර් 400, 4×400), මංජුල කුමාර විජේසේකර (උස පැනීම), වරුණ ලක්ෂාන් (හෙල්ල විසිකිරීම), හිමාෂ ඒෂාන් (මීටර් 100, 4×100), සංජය ජයසිංහ (තුන්පිම්ම), ඉඳුනිල් හේරත් (මීටර් 800), ප්‍රදීප් කුමාර, තරුෂ ධනංජය, කාලිංග කුමාරගේ (මීටර් 4×400), ෂෙහාන් අඹේපිටිය, මොහොමඩ් අෂ්රෆු, මොහොමඩ් සෆ්රාන් (4×100).

ක්‍රීඩිකාවන් - දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසිකිරීම), රුමේෂිකා රත්නායක (මීටර් 100, 200), ගයන්තිකා අබේරත්න, නිමාලි ලියනාරච්චි (මීටර් 800), විදුෂා ලක්ෂානි (තුන්පිම්ම), නිලානි රත්නායක (මීටර් 3000 බාධක දිවීම) හා නිර්මලී මධුෂිකා (මීටර් 400).
පුහුණුකරුවන් - සජිත් ජයලාල්, පිලිප් රංජිත්, බද්‍රා ගුණවර්ධන, ඒ. ජේ. රොද්‍රිගු, චමින්ද පෙරේරා, ලුයිස් මිරැන්ඩා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්