ඥානසාර හිමි යන්නේ වාරියපොල හිමි ගිය පාරේ

  👤  3323 readers have read this article !
By mawbima 2017-06-20

වාරියපොළ සුමංගල, කුඩාපොළ හාමුදුරුවෝ, මාදුළුවාවේ සෝභිත හිමිවරුන් මේ රටේ ජාතික ආපදාවන් පැවැති අවස්ථාවලදී පෙරමුණ ගෙන කටයුතු කළ ආකාරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද කටයුතු කරමින් සිටියදී රජය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ජීවිත තර්ජන පවතින හෙයින් උන්වහන්සේ නිසි කලට ඉදිරිපත් වනු ඇතැයි පොළොන්නරුව පළාතේ ප්‍රධාන සංඝනායක ඉසිපතනාරාම රජමහා විහාරාධිපති උඩුගම ධම්මානන්ද හිමියෝ පැවැසූහ.
පොළොන්නරුව දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සභා රැස්වීමක් අමතා නාහිමියෝ මේ අදහස් පළ කළහ.

පොළොන්නරුව මානෙල් නිවාඩු නිකේතනයේදී සර්ව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
මෙහිදී තවදුරටත් කතා කළ ධම්මානන්ද හිමියෝ මෙසේද කීහ.

"මේ රටේ හැම තැනම සමහර පුද්ගලයන් නොයෙකුත් කට කතා පතුරවමින් ජාතීන් අතර සමඟිය බිඳ දැමීමට මේ අවස්ථාවේ කටයුතු කරනවා.
සිංහල, මුස්ලිම්, දෙමළ, නායකයන් එක්ව මේ රටේ නිදහස ලබා ගත්තා. ඒ ලබාගත් නිදහස ආරක්ෂා කර ගනිමින් සියලුම ජාතීන් සමඟියෙන් ජීවත් විය යුතුයි. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජීවිත තර්ජන තිබෙන බවට ප්‍රකාශ කොට තිබෙනවා. ඒ හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන බව අනුනායක හිමියන් ප්‍රකාශ කොට තිබෙනවා.

රටේ වගකිවයුතු දේශපාලනඥයන් භික්ෂුන් වහන්සේට අපහාස කොට විවිධ චෝදනා ඉදිරිපත් කරනවා. මේ දවස්වල ප්‍රවෘත්ති මාධ්‍යවලින් ඒවා දැනගන්නට පුළුවන්. මේකද ආගමික සංහිඳියාව. පල්ලියේ ඉඳන් උසාවියට ගියත් වෙඩි තියලා මරන තත්ත්වයක් පවතින අවස්ථාවක මේ හාමුදුරුවන් පිට පටවා අනිත් අය බේරෙන්න පුළුවන්.

ඥානසාර හිමියෝ උගත් බුද්ධිමත් භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේගේ සුරක්ෂිතභාවය ඇතිකර ගෙන වෙලාවට උසාවියට ඒවි.
මේ හිමියන්ගේ නමින් රජයේ මැති ඇමැතිවරු ලකුණු දමා ගන්නත් හදනවා. ඒ නිසාම මේ ගැන රජයටත් චෝදනා එල්ලවනවා.
මෙම රැස්වීම අමතා ඇලහැර - බකමූණ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී ලියන්ගස් වගුරේ දේවානන්ද හිමි, මවුලවි කේ. මජිඩ්, ජුලියට් ඩයස් සොයුරිය, සමන් සෙනවිරත්න, කේ. පුංචි බණ්ඩා යන මහත්ම මහත්මීහුද කතා කළහ.

තමන්කඩුව - ගාමිණී ඔබේසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්