සෙබළකුගේ අතපය ගැටගසා ගිනි අවිය පැහැරගෙන ගිහින්

  👤  3331 readers have read this article !
By mawbima 2017-06-20

වැල්ලවාය _
ජී. අයි. රොෂාන්

කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලේ ආරක්ෂාවේ යෙදී සිටි යුද හමුදා සෙබළකුගේ අතපය ගැටගසා ජලයේ ගිල්වා කටේ රෙදි පාංකඩ ඔබා රාජකාරි ගිනි අවිය පැහැරගත් පුද්ගලයකු පැය 12ක් ගතවීමටත් මත්තෙන් අත්අඩංගුවට ගැනීමට කුඩාඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඇතුළු පිරිසක් පසුගියදා (17දා) සමත් වූහ.

කමාන්ඩෝ පුහුණු පාසලේ විධායක අධිකාරි මේජර් රාජනායක මහතා විසින් කුඩාඔය පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු ආරම්භ කළ අපරාධ විමර්ශන කොට්ඨාස ඒකකයේ නිලධාරීහු පිරිසක් විසින් සිදුකළ මෙහෙයුමකදී පැය 12ක කාලයක් ඇතුළත සැකකරු හා පැහැරගත් ගිනි අවිය සොයාගැනීමට හැකි වී තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු මීට පෙර මෙම කමාන්ඩෝ පුහුණු පාසලේම පුහුණුව හදාරා ඇති යුද හමුදාවෙන් පැනගොස් ඇති අලුත්ගම මීගස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කඳවුරට කිලෝමීටර් හතක් පමණ දුරින් පිහිටි බලහරුව ප්‍රදේශයේ කැලෑවක පැහැරගත් ගිනි අවිය පොලිතින්වලින් ඔතා වළ දමා තිබියදී සොයාගන්නා ලදී.
මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අරුණ ප්‍රේමශාන්ත මහතාගේ නියෝගයෙන් මොනරාගල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සිසිල කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ කුඩාඔය පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දිසානායක, වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී. එම්. ජයරත්න, අපරාධ විමර්ශන කොට්ඨාස අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන වැල්ලවාය, අපරාධ අංශයේ ස්ථානාධිපති රොෂාන් උදයංග, පොලිස් සැරයන් රාජරත්න (56394) යන මහත්වරු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්