රටේ යළි ගැටුම් ඇති වුණොත් එහි විපාකය අනාගත පරපුරටයි

  👤  3305 readers have read this article !
By mawbima 2017-06-20

යළිත් වරක් මේ රටේ අපිට නොදැනීම ලොකු ප්‍රශ්නයක් ඇති වීමට යනවාදෝ කියා හැඟෙනවා. බැරි වෙලා හරි එහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් ඉන් බැට කෑමට සිදුවන්නේ ඒ ප්‍රශ්න ඇති කරන අයට නෙවෙයි අනාගත පරපුරටයි. අවුරුදු තිස් පහක් යුද්ධයක් නිසා අපි බැට කෑවා. ඒ බැට කාපු කාල වකවානුව අමතක කරලා මේ රටේ සාමය, සංහිඳියාව අපි ඇතිකර ගත්තා. දැන් අපිට තියෙන්නේ ඒක ආරක්ෂා කරගෙන අපේ දරුවන්ට හොඳ අනාගතයක් ඇති කිරීමයි. ඒ සඳහා තරුණයන්ට ලොකු වගකීමක් පැවරෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු දෙනාටම මේ රටේ අනාගතය සුබවාදී විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

"සිවුදිග යා කරන තාරුණ්‍යයේ මහා ක්‍රීඩා මංගල්‍ය" 29 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අමාත්‍යවරයා එසේ අදහස් පළ කළේය.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරග හා කබඩි තරග පසුගිය දෙදින පුරා පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
අද මේ ක්‍රීඩාංගණයේදී සිංහල, දෙමළ හා මුස්ලිම් තරුණ තරුණියෝ එකට ක්‍රීඩා කරනවා. එතැනදී සිංහල අයට දෙමළ අය පරදින්න පුළුවන්. දෙමළ අයට මුස්ලිම් අය පරදින්න පුළුවන්. මුස්ලිම් අයට සිංහල අය පරදින්න පුළුවන්. දෙමළ අයට සිංහල අය පරදින්න පුළුවන්. ඒක තමයි ක්‍රීඩාව කියලා කියන්නේ. හැම කෙනෙක්ම ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් තමයි ක්‍රීඩාපිටියට අවතීර්ණ වෙන්නේ. එහෙත් පරාජය වුණාම අපි පරාජිතයෝ ලෙස නෙවෙයි ක්‍රීඩාංගණයෙන් පිටව යා යුත්තේ. මෙවර පරාජය වුණත් ලබන වසරේ කෙසේ හෝ ජයග්‍රහණය කිරීමට අඩුපාඩු සකස් කර ගැනීමේ අදහසින් ක්‍රීඩා පිටියෙන් යා යුතුයි. පරාජය ඒ වෙලාවේ දරා ගත යුතු වෙනවා.

ක්‍රීඩාවේදී විනය වැදගත් වෙනවා.
විනය කියන කාරණාව මේ රටට අද ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ක්‍රීඩාව තුළින් විනය ඉතා හොඳින් හුරුපුරුදු කරනවා. ක්‍රීඩාවේදී වගේම ජීවිතයේදීත් විනය පවත්වා ගැනීම ඉතාම වැදගත් කාරණයක්"
අනුරාධපුර _ එරන්ද ශෂිප්‍රිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්