ජනාධිපතිවරණයෙන් මහින්ද පැරැදුණේ බොදු බල සේනාවේ ලණු කාලා

  👤  3332 readers have read this article !
By mawbima 2017-06-20

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වුණේ බොදු බල සේනා හාමුදුරුවන්ගේ ලණු කාලා. වත්මන් ජනාධිපතිතුමාටත් මම කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා කළ වරද කරන්න එපා කියලයි.'

මාර්ග රාජ්‍ය ආමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා එසේ පැවසුවේ පෙරේදා (18දා) හාලිඇළ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවක් අමතමිනි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් මිලියන 6.7ක වියදමින් එම ක්‍රීඩාංගණයේ ඉදිකිරීමට යෝජිත නව ක්‍රීඩා මණ්ඩපය සඳහා මුල්ගල් තැබීමෙන් අනතුරුව අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවැසීය. මේ ක්‍රීඩාංගණය මේ ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් භාවිත කරන ප්‍රදේශයේ ලොකුම ක්‍රීඩා පිටිය හාලිඇළ ප්‍රදේශයේ පාසල්වලට හොඳ මට්ටමේ ක්‍රීඩා පිටි නොමැති නිසා ඒ පාසල්වල දරුවන්ද බොහෝ විට පාවිච්චි කරන්නේ මේ ක්‍රීඩා පිටියයි. මේ ක්‍රීඩාංගණයේ පාපන්දු ක්‍රීඩා කළ සහෝදරයන් එක්ව සිටින හාලිඇළ පාපන්දු ලීගය සල්ලිවලට විකිණිලා කියන මතයක් අද තිබෙනවා. හාලිඇළ පාපන්දු ලීගයට නිලවරණයෙන් පත්ව සිටින්නේ හාලිඇළට කිසිදු සම්බන්ධකමක් නැති, කොළඹ සිටින අය. ඒ නිසා හාලිඇළ පාපන්දු ක්‍රීඩාව මුදලට විකිණිලාද කියන සැකයක් මටත් තිබෙනවා.

මේ මුස්ලිම්වරුන්ගේ ආගමික උපවාස මාසයයි. දැනට අවුරුදු කීපයකට පෙර මෙවැනි උපවාස මාසයක මේ ක්‍රීඩා පිටියේදීම පැවැති ඉෆ්තාර් උත්සවයකදී මම කළ අභියෝගයකට අද උසාවියෙන් කට්ටි පනිමින් සිටින බොදු බල සේනා හාමුදුරුවෝ සතුන් වත්තේ සිටින සියලු සතුන්ගේ නම් කියා මට අනුශාසනා කළා. මම එදත් උන්වහන්සේට දුන් පිළිතුර තමයි ගෞරවනීය හාමුදුරුවනේ, මම ඔබ වහන්සේට වෛර කරන්නේ නෑ. මෛත්‍රී කරනවා කියන එක.
එදා ඉෆ්තාර් උත්සවයේදී මම උන්වහන්සේට කළ අභියෝගය එවකට හිටපු ජනාධිපතිතුමා ගණන් ගත්තේ නෑ. අවසානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය වුණේ බොදු බල සේනා හාමුදුරුවන්ගේ ලණු කාලා. අද උසාවියෙන් සිතාසි නිකුත් කර තිබියදීත් උන්වහන්සේ උසාවියට එන්නේ නෑ. වර්තමාන ජනාධිපතිතුමාටත් මට කියන්න තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා කරගත්ත වරද කරගන්න එපා කියන එකයි.

මේ රටේ ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය කවුරු ඇවිස්සුවත් වැරැදියි. සිවාජිලිංගම්ලා, විග්නේෂ්වරන්ලාත් උසාවි ගේන්න ඕනෑ. නැඟෙනහිර පළාතෙ ඉන්න සමහර මුස්ලිම් පූජකවරුන් ඉතාම කාලකණ්ණි විදියට ජාතිවාදය අවුස්සන බව සමාජ වෙබ් අඩවිවලින් අපි දකිනවා. ඒ අයත් උසාවි ගේන්න ඕනෑ. හැබැයි ඒ අය උසාවි ගේන්න කියලා අද උසාවි එන්න කියලා වරෙන්තු නිකුත් කර තිබෙන හාමුදුරුවන් උසාවි නෑවිත් ඉන්න එක වැරැදියි.

ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය පතුරුවන අය කවුරු වුණත් ඒ අය ඇඳන් ඉන්නේ සිවුරක්ද, ලෝගුවක්ද, වේට්ටියක්ද, තොප්පියක්ද, ඩප්පියක්ද කියන කාරණය අදාළ නෑ. ඒ සියලු දෙනාට විරුද්ධව අපේ ජාතික සමඟියට බාධා කරන්නන් හැටියට නීත්‍යනුකූලව කටයුතු කළ යුතුයි.

ඇටම්පිටිය - රත්න වීරසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්